ආර්ථික බිඳවැටීම හමුවේ කඩා වැටෙන ග්‍රීක පාර්ලිමේන්තුව

Image copyright AFP
Image caption සිරිසා පක්ෂයේ නායක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස්

ග්‍රීසියේ වත්මන් ආණ්ඩුවේ සිරිසා පක්ෂ සාමාජිකයන් පිරිසක් අලුත් පක්ෂයක් බිහි කිරීමේ අරමුණෙන් සිය පක්ෂය හැර ගොස් තිබේ.

සිරිසා පක්ෂයේ නායක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් පසුගිය බ්‍රහස්පතින්දා සිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වෙමින් මැතිවරණයකට යාමට මං සලසනු ලැබුවේය.

මේ මාසයේ මුල් භාගයේදී යුරෝපා ණය කරුවන් විසින් ග්‍රීසියට ලබා දීමට සැරසුන ණය සහන පැකේජය වෙනුවෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී සිරිසා පක්ෂයේ බොහෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අගමැති ඇලෙක්සිස් සිප්‍රාස්ට සිය සහයෝගය නොදැක්වීම ඔහුගේ මෙම තීරණයට හේතු වී තිබේ.

ග්‍රීක මාධ්‍ය වාර්තා කළේ සිරිසා පක්ෂයේ සාමාජිකයන් 30 දෙනකු පමණ නව ජනතාවාදී එක්සත් පක්ෂය (පොපියුලර් යුනිටි) නම් නව පක්ෂයක් පිහිටුවීමට එක් වන බවයි.

Image copyright AP

ණය සහන පැකේජය සම්මත කිරීම වෙනුවෙන් පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී ඉතා තදින්ම විරෝධය දැක්වූ හිටපු බලශක්ති අමාත්‍ය පනගියෝතිස් ලෆසානිස් විසින් නව පක්ෂයේ නායකත්වය මෙහෙයවනු ලබන බවයි වාර්තා වන්නේ.

විරසකයට හේතු

ග්‍රීක පුවත්පතක් මගින් නව පක්ෂය සමග එකතු වන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් නම් කර තිබූ අතර පාර්ලිමේන්තු කතානායකවරිය සහ හිටපු මුදල් අමාත්‍යවරයා ඒ අතර නොවන බවයි වාර්තා වන්නේ.

පසුගිය ජනවාරි මාසයේ ග්‍රීසියේ පැවති මහ මැතිවරණයෙන් අසන 300න් 149ක් දිනා ගැනීමට සිරිසා පක්ෂය සමත් විය.

ආසන 76 ක් දිනාගත් කොන්සර්වේටිව් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය දෙවන ස්ථානයට පත් විය.

Image copyright Getty
Image caption හිටපු බලශක්ති අමාත්‍ය පනගියෝතිස් ලෆසානිස්

මේ අනුව පාර්ලිමේන්තු සාමාජිකයන් තිස් දෙනකු පමණ එක්වී නව ජනතාවාදී එක්සත් පක්ෂය ගොඩනැගීමෙන් පාර්ලිමේන්තුවේ තෙවන ස්ථානයට විශාල පක්ෂය වීමට ඔවුන්ට හැකි වේ.

යුරෝපය විසින් ග්‍රීසියට දෙනු ලැබූ ඩොලර් බිලියන 95ක ණය සහන පැකේජය ලබා ගැනීම වෙනුවෙන් අගමැති සප්‍රාස්ට රාජ්‍ය අංශයේ කප්පාදු කිරීම් , විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම් සහ ග්‍රීසිය තව දුරටත් යූරෝ කලාපයේ රඳවා ගැනීම වැනි නොයෙකුත් පියවර වලට එකඟ වීමට සිදු විය.

පසුගිය සතියේ පැවති පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී 3/1කට වැඩි සිරිසා පාක්ෂිකයන් විසින් සහන ණය පැකේජය වෙනුවෙන් ගැනීමට සිදුවන කප්පාදු පියවර වලට සිය දැඩි විරෝධය පළ කරනු ලැබීය.

සිරිසා පක්ෂය දෙකඩ වීමට ප්‍රධාන වශයෙන් මෙම හේතුව බලපාන්නට ඇති බවයි විචාරකයන්ගේ අදහස.