නොබෙල් ත්‍යාගලාභි මලාලාට විශිෂ්ට ප්‍රතිපල

දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සටන් වදින ළමා ක්‍රියධාරිනියක වන මලාලා යූසුෆ්සායි සිය සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහලම ලකුණු ලබාගැනීමට සමත් වී ඇත.

මුස්ලිම් ශාරියා නීතිය අනුව ස්ත්‍රීන්ට පාසල් අධ්‍යාපනය තහනම් වන අතර ඊට එරෙහිව යාම නිසා පකිස්තානයේ තාලිබාන් තුවක්කු කරුවකු මලාලා ගේ හිසට වෙඩි තැබුවේය.

රෝහල් ගත කිරීමෙන් පසු සුවය ලැබූ මලාලාට පකිස්තානයෙන් එංගලන්තයට සිය පදිංචිය වෙනස් කිරීමට සිදු වූයේ ඇයට දිගින් දිගටම එල්ල වූ මරණ තර්ජන හේතුවෙනි.

මීට වසර තුනකට පෙර හිසට වෙඩි පහර ලද මලාලා යූසුෆ්සායි ඒ වන විට වයස අවුරුදු පහළොවේ පසු වුවාය.

මේ වන විට දහ අටවන වියේ පසුවන මලාලා ලකුණු 90ට වැඩි ඉහළ A සාමාර්ථ හයක් සහ සාමාන්‍ය A සාමාර්ථ හතරක් සහිතව සිය සාමාන්‍ය පෙළ විභාගය ඉතා විශිෂ්ට ලෙස සමත් වූවාය.

සිය දියණියගේ විභාග ප්‍රතිපල ට්විටර් වෙබ් අඩවියේ පළ කළ මලාලාගේ පියා සඳහන් කර තිබුනේ තමන් සහ තම බිරිඳ බෙහෙවින්ම ආඩම්බර වන බවයි.

නොබෙල් සාම ත්‍යාගය

Image copyright Reuters

නොබෙල් සාම ත්‍යාගය ලද ලාබාලම පුද්ගලයා බවට පත් වෙමින් පසුගිය වසරේ මලාලා යූසුෆ්සායි නොබෙල් සාම ත්‍යාගය හිමි කර ගත්තාය.

නොර්වේහි, ඔස්ලෝ නුවරදී, මලාලා යුසෆ්සායි (Malala Yousafzai) සහ ළමා වහල් මෙහෙය සහ ළමුන් ශ්‍රමයට බැඳ තැබීමට එරෙහි ව්‍යාපාරයක නිරත කයිලාස් සත්යයාර්ති (Kailash Satyarthi) දෙදෙනාට සාම ත්‍යාගය එකාබද්ධව ප්‍රදානය කරනු ලැබිණි.

Image copyright AP

පකිස්තානු දැරියන්ගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කිරීම නිසා තාලිබාන්වරුන්ගෙන් වෙඩි කෑ මලාලා යුසෆ්සායි දැරිය මානව හිමිකම් වෙනුවෙන් යුරෝපා හවුල පිරිනමන වාර්ෂික සම්මානයෙන් ද පිදුම් ලැබුවාය.

සම්මානය පිළිබඳ ව නිවේදනය කළ යුරෝපා පාර්ලිමේන්තුවේ සභාපති මාටින් ශුල්ට්ස් කියා සිටියේ පුරුෂාධිපත්‍යය සහ ප්‍රචණ්ඩත්වය පිරි භූමියක සිටිය දී පවා දහසය හැවිරිදි මලාලා නිර්භීතව කටයුතු කළ බවයි.