කොරියානු යුද උණුසුම සමනය වන ලකුණු

Image copyright Getty

උතුරු කොරියානු පාලනය ඉලක්ක කොට කොමියුනිස්ට් විරෝධී සටන් පාඨ යොදා ගනිමින් දේශසීමා ආසන්නයේ ගෙන ගිය ප්‍රචාරක කටයුතු නවතා දමා ඇති බව දකුණු කොරියාව පැවසුවේය.

උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර දේශ සීමාවේ පසුගියදා සිදු වූ වෙඩි හුවමාරුවකින් පසු දෙරට අතර හමුදාමය මැදිහත් වීමක් ඇති වීමේ අවදානමක් පැවතිණි.

එම තත්වය සමනය කිරීම සඳහා දෙරටවල් අතර සාකච්ඡා පැවති අතර ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් කළ ප්‍රචාරණ කටයුතු නවතා දැමීමට දකුණු කොරියාව එහිදී එකඟ වී තිබේ.

Image copyright EPA
Image caption කොමියුනිස්ට් විරෝධී ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නා ශබ්ද විකාශන යන්ත්‍ර

මේ අතර යුධ සුදානමක් වෙනුවෙන් යොදවා තිබූ හමුදා ඉවත් කර ගැනීමට උතුරු කොරියාව එකඟ විය.

දෙරට අතර යුධ උණුසුමක් ඇති වූයේ දේශ සීමාව ආසන්නයේ මුර සේවයේ යෙදී සිටි දකුණු කොරියානු භටයින් දෙදෙනකු බිම් බෝම්බයකට හසු වීමත් සමගයි.

1950 වසරේ සිට 1953 වසර දක්වා උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර පැවති යුද්ධය තාවකාලික යුධ විරාමයක් යටතේ නැවතුන නමුත් සාම ගිවිසුමක් අත්සන් කර නොමැති බැවින් ඔවුන් නිල වශයෙන් තවමත් සිටින්නේ යුධ ස්ථාවරයකයි.

පසුගිය වසර කිහිපයක කාලය තුල දෙරට දේශ සීමා අතර වරින් වර වෙඩි හුවමාරු වීම් සිදු විය.