ඉරාක ජනරාල්වරු දෙදෙනෙකු බෝම්බයකින් මරණයට

Image copyright Reuters
Image caption රමාදි නගරය කැරලිකරුවන්ගෙන් ගලවා ගැනීමට ඉරාක හමුදාව තවමත් උත්සාහ කරමින්

මරාගෙන මැරෙන බෝම්බකරුවකු පදවා ගෙන ගිය මෝටර් රථයක් පුපුරුවා හැරීමෙන් ඉරාකයේ ජ්‍යෙෂ්ඨ යුද හමුදා අණදෙන නිලධාරීන් දෙදෙනකු මිය ගොස් තිබේ.

බෝම්බය පුපුරා ගියේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් සමඟ සටන් පවතින උතුරු දිග රමාඩි නගරයයේදී යි.

මිය ගිය යුද හමුදා ජෙනරාල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙක් කලාපයේ මෙහෙයුම් භාර නියෝජ්‍ය අණ දෙන නිලධාරියායි.

Image copyright Reuters
Image caption බැග්ඩෑඩ් අගනුවරට පසුගියදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය

මෙම ප්‍රහාරයට ගොදුරු වීමෙන් තවත් දස දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් විසින් ඉකුත් මැයි මාසයේදී රමාඩි නගරය අල්ලා ගත් අතර, විශ්ලේෂකයන් පැවසුවේ එය රජය අපකීර්තියට පත් කළ විශාල පරාජයක් බවයි.

රමාදි නගරය පිහිටා ඇත්තේ බැග්ඩෑඩ් අගනුවරින් බටහිර දෙසට වන්නට කිලෝ මීටර සියයක් පමණ දුරිනි.

නගරය යළි අල්ලා ගැනීමට දරන ප්‍රයත්නයන්ගෙන් ලබා ඇත්තේ සුළු ප්‍රගතියක් වන අතර හමුදා අණ දෙන නිලධාරීන් දෙදෙනා මිය යෑම හමුදාවේ චිත්ත ධෛර්යට ද එල්ල වූ බලවත් පහරකි.