ඉන්දීය කාන්තාවන්ට වෙනම පොලිසි

කාන්තාවන්ට එරෙහිව සිදු කෙරෙන අපරාධ පරීක්ෂන සඳහා වෙනම කාන්තා පොලිස් ස්ථාන ආරම්භ කිරීමට ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන ඇත.

හර්යානා එවැනි වෙනම කාන්තා පොලිසි පිහිටුවන පළමු ඉන්දීය ප්‍රාන්තයයි.

අද අගෝස්තු 28 වැනිදා ආරම්භ කිරීමට සැරසෙන ඉන්දියාවේ පළමු කාන්තා පොලිස් ස්ථානය පිහිටා තිබෙන ගොඩනැගිල්ල මින් පෙර භාවිතා කළේ නගරයේ රථවාහන පොලිසිය විසිනි.

පොලිස් පරීක්ෂවරියකගේ ප්‍රධානත්වයෙන් පොලිස් කොස්තාපල්වරියන් විසිහත් දෙනකු නිරත කෙරෙන නව කාන්තා පොලිසියකට අනුබද්ධව පොලිස් කාන්තාවන් පනස් දෙනකුගෙන් යුතු ප්‍රචණ්ඩ ක්‍රියා මර්ධන ඒකකයක්ද අරඹන බවයි ගුර්ගාන් ප්‍රදේශයේ පොලිස් අධිකාරී නව්දීප් සිංග් බීබීසිය ට කියා සිටියේ.

ඊට අමතරව කාන්තා පොලිස් ස්ථාන වල පිහිට පතා එන කාන්තාවන්ට මානසික සහන ලබා දීමට උපදේශක සේවා, නෛතික සේවා සහ පුනුරුත්තාපන සේවා සැපයීමට රාජ්‍ය නොවන සංවිධාන වල සහය ලබා ගැනීමටත් කටයුතු කරන බවයි ඔහු වැඩි දුරටත් පවසන්නේ.

මානසික සහන සේවා

Image copyright SHURIAH NIAZI

හර්යානා තොරතුරු තාක්ෂණ අංශයේ රැකියා බහුල වශයෙන් උත්පාදනය කරන කාර්යබහුල ප්‍රදේශයක් වන අතරම ලිංගිකත්වය මත වෙනස්කම් සිදු කිරීම සහ ලිංගික අතවර ඉතා බහුලව සිදු කෙරෙන ප්‍රාන්තයක් වශයෙන්ද ප්‍රචලිතයි.

ඉන්දියාවේ ජාතික අපරාධ තොරතුරු කාර්යාංශය විසින් නිකුත් කළ වාර්තාවකට අනුව හර්යානා ප්‍රාන්තයේ දෑවැද්ද ඉල්ලා වද හිංසා සිදු කිරීම් 3501ක් දූෂණ සිද්ධි 1174ක් සමූහ දූෂණ 230ක් ඇතුළු කාන්තාවන්ට එරෙහි අපරාධ 8974ක් වාර්තා වී තිබේ.