'නාසි රත්තරන් දුම්රිය' පෝලන්තයේද?

Image copyright AP

ජර්මානු නාසි හමුදා විසින් රත්රන් පිරවූ බවට සැක කෙරෙන දුම්රියක් වසර 70 කට පසු පෝලන්තයෙන් සොයා ගෙන ඇති බවට පළවී තිබෙන වාර්තා වාර්තා පිළබඳව විමර්ශන ආරම්භ වී තිබේ.

අතුරුදහන් වූ දුම්රිය රත්තරන්,මැණික් සහ තුවක්කු ප්‍රවාහනය කරමින් තිබුන බව කට කථා පැතිර තිබුණි .

පෝලන්ත සංස්කෘතික අමාත්‍යංශයේ බලධාරියකු කියා සිටියේ පොළව යට බංකරයක සිරවී ඇති මෙම දුම්රිය රේඩාර් ඡායාරූප වලට හසු වූ අතර එය නාසි රත්තරන් දුම්රිය ලෙස විශ්වාස කළ හැකි බවයි.

නිධන් සොයන්නෝ

නිධන් හොයන පිරිස් වෙත අනතුරු ඇඟවීමක් කරන පෝලන්ත බලධාරීන් කියා සිටින්නේ මෙම දුම්රිය තුළ බිම් බෝම්බ අටවා තිබිය හැකි බවින් ඒ අසළට ලං නොවන ලෙසයි.

මෙම දුම්රිය විෂ සහිත ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට යෙදවූ එකක් වීමටත් ඉඩ තිබෙන බව පෝලන්ත බලධාරීහු කියා සිටිති.

1945 දී අතුරුදහන් වූ දුම්රියක් හොයා ගත් බව පුද්ගලයින් දෙදෙනෙක් මේ මාස මුලදී ප්‍රකාශ කළහ.

ඉන් පසුව නිරිත දිග පෝලන්තයේ වොල්බ්ර්ච් නගරය අශ්‍රිතව නිධන් හොයන්නන් දැඩි උනන්දුවකින් කටයුතු කරන්නට පටන් ගත්හ.