බොලිවුඩ් චිත්‍රපටයකට එරෙහිව නඩු

Image copyright AFP

ජාත්‍යන්තර වෛද්‍ය සුඛ සාධන පුණ්‍යායතනයක් වන දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංගමය බොලිවුඩ් චිත්‍රපටයකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි.

‘ ෆැන්ටම්’ (Phantom) නැමති එම චිත්‍රපටය මගින් ගැටුම් පවතින ප්‍රදේශවල සේවය කරන තම සේවකයන් තර්ජනවලට ලක් විය හැකි බවයි සංවිධානය පවසන්නේ.

තම සංවිධානයට සමාන ආයතනයක සේවය කරන චරිතයක් ගිනි අවියක් පාවිච්චි කරමින් සිටින ආකාරය මෙම චිත්‍රපටයේ දැක්වෙන නිසා එය තම පුණ්‍යායතනයේ සේවකයකු සේ වැරදි ලෙස තේරුම් ගැනීමේ ව්‍යාකූලත්වයක් ඇති බවයි එය පෙන්වා දෙන්නේ.

දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංගමය පවසන්නේ තම සංවිධානය ගිනි අවි භාවිතා නොකරන දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි.

මේ නිසා අපක්ෂපාතී , මධ්‍යස්ථ, හා ස්වාධීන ආයතනයක් ලෙස නමක් දිනා සිටින තම සංවිධානයේ කීර්තිනාමයට චිත්‍රපටය මගින් තර්ජනයක් එල්ලවී ඇති බව දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංගමය කියා සිටී.