වැසිකිළි ගියොත් අතට සල්ලි

Image caption ඉන්දියාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් මල පහ සිදු කරනු ලබන්නේ එළිමහනේයි

එළිමහනේ මල පහ නොකර තම ශරීර කෘත්‍ය සඳහා පොදු වැසිකිළි භාවිතා කිරීම දිරි ගන්වනු වස් මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඉන්දියාවේ ගුජරාටයේ ආහ්මෙදාබාද් නගර පාලන ආයතනය කටයුතු කොට තිබේ.

මිනිස් මල පහ ආශ්‍රයෙන් පැතිරෙන පාචනය වැනි රෝග වැළඳීමෙන් ඉන්දියාව තුළ වාර්ෂිකව දෙලක්ෂයකට ආසන්න දරුවන් සංඛ්‍යාවක් මිය යති.

නව වැඩසටහන දියත් කිරීමත් සමග එවැනි රෝග පැතිරීම අවම කර ගත හැකි වනු ඇති බවට සංවිධායකයෝ බලාපොරොත්තු පළ කරති.

පොදු වැසිකිළි පහසුකම් තිබියදීත් බොහෝ වැසියන් එළිමහනේ මල පහ කිරීම පුරුද්දක් කොට ගෙන ඇති බවයි නගර සභා පරිපාලනය පවසන්නේ.

ලොව වටා වෙසෙන කෝටි එකසිය දහයකට ආසන්න පිරිසක් සිය ශරීර කෘත්‍ය සඳහා එළිමහන් භාවිතා කරති.

Image caption බොහෝ දෙනෙකුට පොදු වැසිකිළි පහසුකම් තිබෙනමුත් ඔවුහු ඒවා භාවිත නොකරති

ඔවුන් එසේ කිරීමට යොමු වී තිබෙන්නේ නිසි වැසිකිළි පහසුකම් නොමැතිකම හේතුවෙන්.

ඉන්දියාවේ ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් එනම් මිලියන 590කට අධික ඉන්දියානුවන් මල පහ සිදු කරනු ලබන්නේ එළිමහනේයි.

මෙම තත්වයට දීර්ඝ කාලීන විසඳුමක් වශයෙන් දරුවන් අතර වඩාත් හොද සෞඛ්‍යාරක්ෂිත පුරුදු පුහුණු ඇති කිරීම ‘මල පහ සඳහා මිලක් ගෙවීමේ’ ඉලක්කය වී තිබේ.

'පුරුදු නැහැ'

‘අපි පොදු වැසිකිළි ඉදි කරලා තිබෙනවා. නමුත් මිනිස්සු ඒවා පාවිච්චි කරන්නේ නැහැ’ ගුජරාට සනීපාරක්ෂක සංවර්ධන ආයතනයේ සභාපති අනිල් ප්‍රජාපතී පැවසුවේය.

‘වැසිකිළි තුළ හදිහූනියම්කාරයෝ ඉන්නවා කියලාසමහර මිනිස්සු බියෙන් පසු වෙනවා. නැතිනම් ඒ තුළදී දරුවන් පැහැර ගැනීමට ලක් වේවි කියලා ඔවුන් හිතනවා’

‘කුඩා ගම්මාන වලින් මේ මිනිස්සු නගරයට ඇවිත් තියෙන්නේ. ඉතින් ඔවුන්ට වැසිකිළි භාවිත කිරීමේ පුරුද්දක් නැහැ’

ඒ අනුව තම නිවෙස් ආසන්නයේ වූ පොදු වැසිකිළි නිතර පරිහරණය කරන ළමුන්ට නගර සභාවෙන් ඉන්දීය රුපියලක ගෙවීමක් සිදු කරනු ලැබේ.

වැසිකිළි භාවිතය දිරි ගැන්වීම සඳහා ළමුන්ට චොකලට් ලබා දීමත් සිදු කෙරේ.

Image caption වැසිකිළි භාවිතා කරන සෑම විටකම කුඩා භූමිට රුපියලක් හිමි වේ

මෙම වැඩසටහන ඔස්සේ කුඩා භූමි දටාදියා වාසි ලබන්නීය.

පස් වන වියේ පසු වන ඇය තම දෙමව්පියන් සහ සහෝදරයන් දෙදෙනා සමග කුඩා ප්‍රමාණයේ කාමරයක දිවි ගෙවන්නීය.

නගරයේ එම ප්‍රදේශය තුළ වෙසෙන බොහෝ දෙනෙකුට කුඩා ඇයටත් ඇති එකම විකල්පය අසල ඇති ගංගාව හෝ පොදු වැසිකිළියයි.

‘බලන්න මගේ ගෙදර දිහා. වැසිකිළියක් ඉදි කරන්න කොහෙද ඉඩ තියෙන්නේ’ ඒ කුඩා භූමිගේ මව.

නව වැඩසටහන ක්‍රියාත්මක වීමත් සමග පොදු වැසිකිළිය භාවිතා කරන එක් වාරයක් පාසා භූමිට ලැබෙන මුදල රුපියලක්.

අතට මුදල්

‘වැසිකිළි භාවිතය හොද දෙයක්. මම මේ මුදල් ඉස්කෝලේ වියදමට තියා ගන්නවා’ භූමි කියා සිටියාය.

Image caption භූමිගේ නිවසේ වැසිකිළි පහසුකම් නොමැත

‘මල පහ සඳහා මිලක් ගෙවීමේ’ වැඩසටහන ඔස්සේ පොදු වැසිකිළි භාවිතා කරන වැඩිහිටියන් වෙතද ගෙවීමක් සිදු කිරීමට ආහ්මෙදාබාද් නගර සභාවට අදහසක් තිබේ.

එළිමහනේ මල පහ කිරීම සෞඛ්‍යයට මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනයට, පවුලේ ආදායමට සහ කාන්තාවන්ගේ ආරක්ෂාවට මෙන්ම ගුරුත්වයටත් බලපෑම් එල්ල කරයි.

‘ශරීර කෘත්‍ය සිදු කිරීමට එළිමහනට යෑම කාන්තාවන්ට ආරක්‍ෂිත නැහැ’ ප්‍රජාපති පැවසුවේය.

‘ රාත්‍රියේ ඔවුන් එළිපහළියට ගිහාම ඕනෑම දෙයක් සිදු වෙන්න පුළුවන්’ ඉන්දියාව පුරා එවැනි දේවල් සිදු වෙනවා. අපිට මේ තත්වය නවත්තන්න අවශයි’ ඔහු සඳහන් කළේය.

එළිමහනේ මල පහ කිරීමට තිත තැබීම සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛත්වයක් ලබා දී තිබේ.

2019 වසර වන විට ඉන්දියාවේ සෑම නිවසක්ම වැසිකිළියක් සහිත නිවසක් කර වීමත් අගමැතිවරයාගේ එක් ඉලක්කයක්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර