විකිපීඩියා ජාවාරම්කරුවන්ට තහංචි

Image copyright wikipedia

මුදල් ලබා ගනිමින් විකිපීඩියා වෙබ් අඩවියේ ඉංග්‍රීසි සංස්කරණයෙහි ලිපි පළ කිරීමේ ජාවාරමක නිරත වූ 381 දෙනකුගේ ගිණුම් අවහිර කිරීමට එහි කතුවරුන් විසින් පියවර ගනු ලැබ ඇත.

වෙළෙඳ ව්‍යාපාර, ව්‍යාපාරිකයන් සහ කලාකරුවන් වැනි සමාජයේ කැපී පෙනෙන ආයතන සහ පුද්ගලයන්ගේ ප්‍රසිද්ධිය සඳහා පෙනී සිටිමින් ඉහත කී ජාවාරමේ නිරත වෙමින් සිටියේ සංවිධානාත්මක පිරිසක් බවයි වාර්තා වන්නේ.

තමන් එවැනි පුද්ගලයන්ට ගොදුරු වූ බව ඇතැම් ව්‍යාපාරිකයන් ප්‍රකාශ කර ඇත.

එම ජාවාරම පිළිබඳව තොරතුරු ලැබීමෙන් පසු සුමාන කීපයක් තිස්සේ සිදු කරන ලද විමර්ශනයකින් අනතුරුවයි විකිපීඩියා කතුවරුන් විසින් ඉහත කී ගිණුම් අවහිර කිරීමට පියවර ගනු ලැබ තිබෙන්නේ.

විකිපීඩියා ඉංග්‍රීසි මාධ්‍ය වෙබ් අඩවිය කෝටි දෙක හමාරක් පමණ ග්‍රාහකයන් විසින් භාවිතා කරන බව ඇස්තමේන්තු කෙරෙයි.

අසම්මත අදහස්

විකිපීඩියා පදනමේ එඩී එර්හාර්ට් සහ ජූලියට් බාබරා බ්ලොග් සටහනක් මගින් කියා සිටින්නේ මුදල් අය කරමින් ව්‍යාපාර සහ පුද්ගලයන්ට ප්‍රචාරයක් ලබා දුන් පුද්ගලයන් පක්ෂග්‍රාහී, අසම්මත තොරතුරු වෙබ් අඩවියට එක් කර ඇති අතර ඔවුන් කර්තෘ අයිතිය පවා උල්ලංඝනය කර ඇති බවයි.

තමන් එම ජාවාරම් කරුවන්ට හසු වූ බව ඇතැම් පුද්ගලයන් ප්‍රකාශ කරන බවත් විකිපීඩියා පවසයි.

ප්‍රසිද්ධියක් ලබා දීම සඳහා ලිපි පළ කිරීමට මුදල් ඉල්ලා සිටින ජාවාරම් කරුවන් ඇතැම්විට මුදල් ගෙවා තිබියදීත් අදාළ ලිපි වෙබ් අඩවියෙන් ඉවත් කරනු ලැබ ඇත.

Image copyright Thinkstock

මේ වනවිට එවැනි ජාවාරම් කරුවන්ට හසු වී ඇති ව්‍යාපාර සහ කලාකරුවන්ගේ ලැයිස්තුවක් ද ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ.

ව්‍යාපාරික ගොදුරු

'කොලිටි විලාස්' සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කළමනාකරු ඩී.තොම්සන් බීබීසියට ප්‍රකාශයක් කරමින් කියා සිටියේ විකිපීඩියා වෙබ් අඩවියේ තම සමාගම සඳහා පිටුවක් නිමවීමට එකඟ වූ තැනැත්තෙක් තමාගෙන් මුදල් ලබා ගැනීමෙන් අනතුරුව අදාළ වෙබ් පිටුව මකා දමා ඇති බවයි.

එවැනි කටයුතුවල යෙදෙන පුද්ගලයන්ගේ බැංකු ගිණුම් වල සමාන බවක් බොහෝ දුරට පෙනී යන හෙයින් ඔවුන් අතර සම්බන්ධතා ඇත යන්න විකිපීඩියා සම්පාදකයන්ගේ විශ්වාසයයි. 2013 වසරේ ඔක්තෝබර් මාසයේ ද විකිපීඩියා වෙබ් අඩවිය 250 කට අධික ග්‍රාහක ගිණුම් අත්හිටවීමට පියවර ගෙන තිබුණි.

ඊට හේතු වූයේද ඇතැම් ගිණුම් මුදලට ආරම්භ කරන ලද ඒවා වූ බව හෙළිදරව් වීමයි.