තජිකිස්තානයේ වෙඩි තැබීම් වලින් 22 මරුට

Image copyright Getty
Image caption තජිකිස්තාන ජනපති එමොමාලි රක්මොන්ගේ විරුද්ධවාදීන් විසින් ප්‍රහාර සිදු කරන බවට බලධාරීහු චෝදනා කරති

තජිකිස්තානයේ ඩුශාන්බේ අගනුවර සහ ඒ අවට සිදු වූ වෙඩි තැබීම් හේතුවෙන් පුද්ගලයන් විසි දෙදෙනෙක් මරුමුවට පත් වෙති.

අගනුවරින් පිටත ආණ්ඩුවේ කාර්යාලයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් භටයින් නව දෙනකු මරුමුවට පත් වී ඇතැයි එරට අභ්‍යන්තර කටයුතු භාර අමාත්‍යවරයා පැවසීය.

ධුරයෙන් ඉවත් කළ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අබ්දුකලීම් නසාර්සෝඩා ''ත්‍රස්ත කණ්ඩායමකට'' නායකත්වය දෙන බවට බලධාරීහු චෝදනා කරති.

ප්‍රහාරකයන් දහතුන් දෙනකු මරා දමා ඇති බවත් තිස් දෙදෙනකු රැඳවුම් භාරයට ගෙන ඇති බවත් බලධාරීහු සඳහන් කරති.

Image copyright AP
Image caption අගනුවර ආරක්ෂාව තර කිරීමට පොලිස් භටයින් යොදවා තිබේ

සිය තානාපති කාර්යාලය වසා දමා ඇති බව නිවේදනය කළ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රචණ්ඩක්‍රියා වර්ධනය වීමට ඉඩ ඇති බවට පූර්ව අනතුරු හැඟවීමක් සිදු කොට තිබේ.

''සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක්'' අගනුවර පිහිටි අභ්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලට පැමිණ ප්‍රහාරයක් එල්ල කළ බව එම දෙපාර්තමේන්තුව රජයේ මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයක සඳහන්.

තජිකිස්තානය තුළ මෙවැනි කලබලකාරී ක්‍රියා නිතර සිදු නොවන නමුත් සාමාන්‍ය ජන ජීවිතය තුළ ඉස්ලාමීය ආගමේ භූමිකාව සම්බන්ධයෙන් මෑතකදී සිදු කරනු ලැබූ වෙනස්කම් මතභේදයට තුඩු දී තිබේ.