ජර්මනිය සංක්‍රමණිකයන් සාදරයෙන් පිළිගන්නේ ඇයි?

Image copyright EPA

සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් ජර්මනියේ චාන්සලර්වරිය ඇන්ගෙලා මාර්කෙල් ගේ ප්‍රධානත්වයෙන් ප්‍රයෝගික හා ධනාත්මක වැඩපිළිවෙළක් යෝජනා කිරීමත් සමග අසල්වැසි රටවල්ද ඒ වෙනුවෙන් යම් තරමින් සහන සැලසීම සඳහා ඉදිරිපත් වීම අස්වැසිල්ලට කරුණක්.

බටහිර යුරෝපීය රටවල් කරා දිනපතා ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සරණාගතයින් සම්බන්ධයෙන් යුරෝපා හවුලේ රටවල් මේ දක්වා පොදු ප්‍රතිපත්තියකට එළඹ නොමැති හැඩකුයි පෙනෙන්නට තිබුණේ.

මේ අතර සමීක්ෂණ වාර්තාවලට අනුව ජර්මන් ජනතාවගෙන් 53% ක් කියා සිටින්නේ සංක්‍රමණික අර්බුදය සම්බන්ධයෙන් මාර්කෙල් කර තිබෙන වැඩ කොටස කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවයි.

කෙසේ නමුත් මාර්කෙල් ආදර්ශයට ගැනීමක් නිසාදෝ ෆින්ලන්තයේ අගමැති ජුහා සිපිලා පෞද්ගලිකව ඔහු සතු නිවසක් සංක්‍රමණිකයන්ට පිරි නැමීමට තීරණය කිරීම මෙම අර්බුදයට මානුෂික පිළිතුරක් සෙවීම පිළිබඳ වන නව ප්‍රවේශයක් ලෙස හැඳින්විය හැකියි.

ලොවට ආදර්ශයක්

දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීමටත් පෙර හිට්ලර් ගේ ජාතික සමාජවාදී පක්ෂය අනුගමනය කළ යුදෙව්වන් වඳ කරලීමේ නට්සි ප්‍රතිපත්තිය නිසා අතීතයේ ජර්මනියට අත් පත් වූ අවමානයෙන් මිදීම සඳහා ජාත්‍යන්තර ගැටළුවලදී සක්‍රිය සත්කාරක පාර්ශවයක් ලෙස ක්‍රියා කිරීමට ජර්මනියේ මෙතෙක් පත් වූ සෑම ආණ්ඩුවක් පාහේම ගත් උත්සාහයන් ලෝක ප්‍රජාවගේ ඇගයුමට ලක් වී තිබේ.

Image copyright Getty

ඒ සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිපාදන සතු හෙයින් මෙවැනි අර්බුදයකදී ප්‍රමුඛත්වයක් ගෙන වැඩ කිරීමට ජර්මනිය සමත් වී තිබේ.

ඕස්ට්‍රියාවේ වියානා නුවර සිට සරණාගතයින් රැගෙන බැවේරියාවේ අගනුවර වන මියුනික් ප්‍රධාන දුම්රිය පොළ වෙත ළඟා වූ ප්‍රථම දුම්රියේ පැමිණි බාල මහලු තරුණ සරණාගතයින් පිළිගැනීමට තෑගී බෝග ආහාර හා වෙනත් අත්‍යවශ්‍ය දෑ රැගෙන ආ ජර්මන් ජනතාව පෙන්වූ මානුෂික, සානුකම්පිත හා සුහදතාවය සරණාගතයින් කිසිසේත් බලාපොරොත්තු නොවූ තත්වයක් වූවා විය හැක.

නමුත් එය එසේ සිදු වූවා පමණක් නොව ලොවට ආර්ශයක්ද විය.

ජර්මන් ජනතාවගෙන් 70% පමණ පිරිසකගේ මතය වී ඇත්තේ සරණාගතයින්ගේ ආගමනය ජර්මන් ආර්ථිකයට ආශීර්වාදයක් විය හැකි බවයි.

දශක ගණනාවක් තිස්සේ ජර්මනියේ ආර්ථිකයට ප්‍රබල දායකත්වයක් දෙන සංක්‍රමණික තුර්කි ශ්‍රම බලකාය මීට කදිම උදාහරණයක්.

Image copyright Reuters
Image caption සර්බියානු දේශ සීමාව හරහා හංගේරියාවට ඇතුළු වන සිරියානු ජාතිකයින්

ඉහත කී පිරිසෙන් 99% පමණ මුස්ලිම් භක්තිකයින් වීම නොඉවසන "දැඩි මතධාරී" ජර්මන් කොටස් සිටින නමුත් ගුණාත්මක වශයෙන් ඊට එරෙහිව යාමට අන්තවාදී කණ්ඩායම් වලට හැකියාවක් නොතිබෙන නමුත් නිවට අන්දමින් සැඟවී කරන පහර දීම් හා ගිනි තැබීම් වරින් වර සිදු නොවුනා නොවේ.

දැඩි මතධාරීන්

නමුත් එවැනි තත්වයන් පාලනය කර ගැනීමට ජර්මන් බලධාහු සමත් වූහ.

මේ අතර ජර්මන් ජනතාවගෙන් 65% කගේ මතය වී ඇත්තේ සරණාගත ආගමනය තුළින් ජර්මනියට "තිරිහන්" වූවා නැතිනම් නව යොවුන් බවක් ලැබූ බවයි.

මෙයට හේතුව ජර්මන් ජාතිය ජනගහන වර්ධනයේ සෘණ තත්වයේ පසු වීම හේතුවෙන් පැන නැගී ඇති සමාජ ආර්ථික ගැටලුවලට යම් තරමක අස්වැසිල්ලක් මෙයින් ඇතිවේ යැයි ජනතාව විසින් කරන ලද උපකල්පනයයි.

Image copyright Getty

ජර්මන් ජනතාවගේ මෙම සාධනීය ආකල්ප හේතුවෙන් ලොව පුරාම සිටින ආර්ථික හා දේශපාලන සරණාගතයින් රැකවරණ ලබා ගැනීම සඳහා පළමුව හා වැඩි වශයෙන්ම තෝරා ගනු ලබන රට ජර්මනියයි.

ජර්මන් ආර්ථිකයේ ධනාත්මක වර්ධනය, කම්කරු ආරක්ෂණ වැඩපිළිවෙළ, සිතීමේ හා නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා නිදහස තහවුරු කරන නීති රීති පද්ධති අකුරටම ක්‍රියාවේ යෙදීම හේතුවෙන් ජර්මනිය සරණාගතයින්ට "මිහිපිට සුරපුරක්" ලෙස පෙනීම පුදුමයට කාරණයක් නොවේ.

ජර්මනියේ රැකවරණ පතන සිරියාවේ සිට පැමිණෙන සරණාගතයින්ගෙන් 100% කටම පාහේ රටට ඇතුල් වීමේ අවසරය දීමට බලධාරීන් තීරණය කොට තිබේ.

මිහිපිට සුරපුරක්

සිරියාවේ පවතින කුරිරු යුද්ධයේ බිහිසුණු බව නිසාත් ඉන් දැඩි ලෙස පීඩා විඳින කුඩා දරුවන් හා කාන්තාවන් ගේ ඉරණමත් ගැන සලකා ජර්මනිය මේ නිගමනයට එළඹෙන්නට ඇතැයි සිතිය හැක.

විශේෂයෙන් සිරියාවේ සිට පැමිණි සංක්‍රමණික සරණාගතයින් රැගත් බෝට්ටුවක් මුහුද මැද දී විපතට පත්වීම නිසා ශෝචනීය ලෙස මරු තුරුලට ගිය තරුණ මවක් සහ ඇගේ සිඟිති පුතුන් දෙදෙනා පිළිබඳ ඛේදවාචකය හා එයින් කම්පා වී වැලපෙන පියාගේ කතාව මාධ්‍ය මගින් ලොව පුරා ප්‍රචාරය විය.

ඒ සමගම යුරෝපා හවුලේ රටවල් නීති විරෝධී සංක්‍රමණිකයන් පිළිබඳ දැක්වූ ආකල්ප යම් තරමකින් වෙනස් කර ගැනීමට උත්සාහ කරන බවක් පෙනෙන්නට තිබිණි.

දැඩි ආරක්ෂණ නීති රීති වෙනුවට මානුෂිකව මෙම ප්‍රශ්නය දෙස බැලීමට යුරෝපා හවුලේ රටවල් දැන් දැන් පියවර ගන්නා බව පැහැදිලියි.

සංක්‍රමණික ගැටළුවේදී ලිස්සා යාමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මේ නිසා තනි රටකට නොහැකි වනු ඇත.

අවසාන විග්‍රහයේදී අප කවුරුත් වේදනාව හඳුනන මිනිස්කම වෙනුවෙන් නිරන්තර සංවේදීතාවයෙන් පෙළෙන ජීවීන් කොටසක් බව මෙනෙහි කර ගැනීමට කදිම අවස්ථාවක් මේ ව්‍යසනය හරහා මතු වී තිබේ.

මිනිස් දහමට ජාති, ආගම්, කුල ගෝත්‍ර හා භූගෝලීය වෙනස්කම් බල නොපාන බව සනාථ කිරීමේ ක්‍රියාවලියක යුරෝපා රටවල් නිරතව සිටින විරල අවස්ථාවක් ලෙසද මේ ක්‍රියාදාමය ඉතිහාසයට එකතු වන බව පැහැදිලියි.

(මෙහි දැක්වෙන්නේ ලේඛකයාගේ පුද්ගලික මතයයි)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර