ජපානයේ ගංවතුරින් අනූදහසක් අනාථයි

  • 2015 සැප්තැම්බර් 10
Image copyright AP

ජපානයේ මහා ගංවතුර සහ නායයාම් නිසා අනූ දහසකට අධික ජනකායකට සිය ගේදොර හැර යාමට හේතු වී ඇත.

තෝකියෝ අගනුවරින් උතුරු දෙසට වන්නට පිහිටි ‘ජෝසෝ’ නගරයේ නිවාස ගංවතුරින් කොටු වූ ආකාරය ජපානයෙන් ලැබෙන පින්තූර වලින් පෙන්නුම් කෙරෙයි.

එම නිවාසවල ජීවත් වූ මහළු ජනයා ගෙවල්වල වහලයේ එල්ලී සිටි අතර හෙලිකොප්ටර් යානා මගිනි ඔවුන් සුරක්ෂිත ආකාරයට මුදා ගනු ලැබුණේ.

දවස් දෙකක් මුළුල්ලේ ඇද හැලුණ මහා වර්ෂාවෙන් අනතුරුව ‘කිනුගාවා’ ගංගාවේ ඉවුරු පුපුරා ගිය අතර නිවාස සහ මෝටර් රථ ජල පහර සමඟ ගසා ගෙන ගොස් ඇත.

Image copyright Reuters

මේ වන විට එක් පුද්ගලයකුට සිදු වූ දෙයක් දැනගන්නට නොමැති අතර යටත් පිරිසෙයින් දොළොස් දෙනකුවත් තුවාල ලබා සිටිති.

දැනටමත් අනතුරට ලක්ව තිබුණ ‘ෆුකුසිමා’ න්‍යෂ්ටික බලාගාරයෙන් විකිරණ ද්‍රව්‍ය මේ ජල පහරත් සමඟ මුහුදට ගසා ගෙන යාමේ අනතුරක් ගැනත් මැසිවිලි පළ වෙමින් පවතින බවත් වාර්තා වෙයි.

පවතින ඝර්ම කලාපීය ‘එටෝ’ කුණාටුව සිකුරාදා තෙක්ම බලපැවැත්වෙනු ඇතැයි ද සැලකෙයි.