උතුරු කොරියාව න්‍යෂ්ටික වැඩ 'යළි අරඹයි'

Image copyright AP
Image caption න්‍යෂ්ටික සංකීර්ණය තුළ සිදු වන ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ඇති බව පසුගියදා නිකුත් කරුණු ලැබූ චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ හෙළි වී තිබේ

උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කොට ඇති බව පියෝන්ග්යැන්ග් පාලනය පවසයි.

යොන්ග්බ්යෝන් න්‍යෂ්ටික සංකීර්ණය උතුරු කොරියාවේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයයි.

සිය න්‍යෂ්ටික අවි වැඩිදියුණු කිරීමට කටයුතු කරන බවයි උතුරු කොරියාව නිවේදනය කළේ.

එසේ වැඩිදියුණු කළ න්‍යෂ්ටික අවි ඇමරිකාවට එරෙහිව ඕනෑම අවස්ථාවක යොදා ගැනීමට සූදානම් බවත් උතුරු කොරියාව පැවසුවේය.

මෙම න්‍යෂ්ටික බලාගාරය දෙදහස් හත වසරේදී වසා දැමුණු අතර එහි වැඩකටයුතු යළි අරඹන බවට පියෝන්ග්යැන්ග් පාලනය විසින් දෙදහස් දහතුන වසරේදී ප්‍රතිඥා දෙන ලදී.

Image copyright Reuters
Image caption යොන්ග්බ්යෝන් න්‍යෂ්ටික සංකීර්ණය උතුරු කොරියාවේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයයි

න්‍යෂ්ටික සංකීර්ණය තුළ සිදු වන ක්‍රියාකාරකම්වල වර්ධනයක් දක්නට ඇති බව පසුගියදා නිකුත් කළ චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ හෙළි වී තිබේ.

චන්ද්‍රිකා ගණනාවක් අභ්‍යවකාශ ගත කිරීමට සැලසුම් කොට ඇති බව ප්‍රකාශයට පත් කොට දිනකට පසුවයි උතුරු කොරියාව සිය න්‍යෂ්ටික වැඩසටහන් සම්බන්ධයෙන් මෙම නිවේදනය නිකුත් කළේ.

දුර විහිදුම් මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඇති හැකියාව තවදුරටත් ඉහළ නැංවීමට උතුරු කොරියාව කටයුතු කරන බව මෙම නිවේදන මගින් අදහස් කෙරේ.

ලොව අනෙකුත් රටවල් වෙත සිය හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අරමුණෙන් මෙම නිවේදන නිකුත් කරන්නට ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාසය පළ කරති.