ජාතික ගීය නොගයන බ්‍රිතාන්‍ය විපක්ෂ නායකයා

  • 2015 සැප්තැම්බර් 16
Image copyright bb
Image caption බොත්තම නොපියවූ කමිසය සහ ජාතික ගීය නොගයන ජෙරමි කෝබින්

ඊයේ අඟහරුවාදා (15)ලන්ඩන් නගරයේ පැවැත්වුන බ්‍රිතාන්‍ය යුද අනුස්මරණ වැඩසටහනකට එක් වූ නව විපක්ෂ නායක ජෙරමි කෝබින් ජාතික ගීය ගයන අවස්ථාවේ ඊට හවුල් නොවී නිහඬව පසුවීම බොහෝ දෙනාගේ අවධානයට ලක් වෙමින් පවතින මාතෘකාවක් බවට පත්වී ඇත.

පක්ෂ සාමාජිකත්වයේ ඉතා තියුණු අභ්‍යන්තර ඡන්දයකින් පසුගිය සතියේ ලේබර් පක්ෂයේ නායකයා හැටියට තේරී පත් වූ නව විපක්ෂ නායක ජෙරමි කෝබින්, ඉහත කී යුද අනුස්මරණ වැඩසටහනට සහභාගී වෙමින් සිටියදී සෙස්සෝ ජාතික ගීය ගයද්දී ඔහු නිහඬව පසු වූ ආකාරය අද (16) බ්‍රිතාන්‍ය පුවත්පත්වල මුල් පිටුවේම පළ කරනු ලැබ ඇත.

බ්‍රිතාන්‍ය ජාතික ගීයෙන් කියවෙන්නේ රැජිනට ආශීර්වාද කිරීමකි.

ලේබර් පක්ෂයේ වාම ප්‍රවනතාව නියෝජනය කරන නායකයකු වන ජෙරමි කෝබින් රාජාණ්ඩුව වෙනුවෙන් පෙනී නොසිටින බව බ්‍රිතාන්‍ය දේශපාලනය තුල ප්‍රකට කරුණකි.

ඇඳුමේ වෙනස

ඉහත කී යුද සමරුවේ දී ජෙරමි කෝබින් ඇඳ සිටි ඇඳුම කෙරෙහි ද ඇතැම් මාධ්‍යවල අවධානය යොමු වී තිබුණි.

Image copyright b
Image caption අගමැති සහ විපක්ෂ නායක

ඔහු සිය කමිසයේ ඉහල බොත්තම පියවා නොමැති ආකාරයයි පින්තූර ද සහිතව සමහර මාධ්‍යයන්හි පළ කරනු ලැබ තිබෙන්නේ.

ජාතික ගැයීමට සිය නායකයා එක් නොවීම සම්න්ධයෙන් අදහස් පළකළ ජෙරමි කෝබින්ගේ ප්‍රකාශකයෙක් කියා සිටියේ ‘ඔහු එම අවස්තවේ ගෞරවය පළ කිරීමක් හැටියට නිහඬව පසු වූ’ බවයි.

එහෙත් ලේබර් පක්ෂයේම ඇතැම් දේශපාලනඥයන් පවසන්නේ සිය නායකයා ජාතික ගීය ගායනා කිරීමට එක් විය යුතුව තිබුණ බවයි.

රාජාණ්ඩුව සම්බන්ධයෙන් පෞද්ගලිකව කුමන මතයක් දරුවත් ජෙරමි කෝබින් ජාතික ගීය ගැයීමට හවුල් විය යුතු යයි විශ්‍රාමිකයන් පිලිබඳ ඡායා කැබිනට් ඇමති ඕවන් ස්මිත් පවසයි.

පළමු අභියෝගය

මේ අතර ලේබර් පක්ෂයේ බොහෝ දෙනෙක් සිය නායකයාගේ අව්‍යාජත්වය අගයමින් අදහස් පළ කරනු ලැබ ඇත.

නව විපක්ෂ නායක ජෙරමි කෝබින් පදවියට පත් වීමෙන් අනතුරුව වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තුවේ දී අගමැති ඩේවිඩ් කැමරන්ට මුහුණ ලා පළමු වරට හිඳ ගනු ලබන්නේ අදයි.(16)

මුලින් කී යුද සමරු මෙහෙයේ දී අගමැතිවරයා සහ නව විපක්ෂ නායකයා නිල මට්ටමේ සූදානම් කිරීම් අනුව සමීප අසුන්වල හිඳ සිටි අතර එක් අවස්ථාවක ඔවුන් දෙදෙනා සුහද කතාවක යෙදෙනු දක්නට ලැබුණි.