ශුභ උපන් දිනයක් වේවා! දැන් නිදහසේ ගයන්න!

Image copyright Thinkstock

ශුභ උපන් දිනයක් වේවා!(Happy Birthday to You) ඉංග්‍රීසි භාෂාවෙන් රචිත ගීපද මාලාව තව දුරටත් කර්තෘමය අයිතියට යටත් නොවන බව ඇමෙරිකානු ෆෙඩරල් අධිකරණයේ විනිසකරුවකු විසින් තීන්දු කරනු ලැබ ඇත.

වෝර්නර් චැපල් (Warner Chappell) නම් ඇමෙරිකානු සමාගම තර්ක කළේ 1998 වසරේ දී එම ගීයේ අයිතිය තමන් සතු කර ගත් බවයි.

එහෙත් එම අයිතියට අභියෝග කරන වාර්තාමය වැඩ සටහන් සම්පාදකයෙක් අධිකරණය ඉදිරියේ සාක්ෂි දෙමින් ‘වෝර්නර් චැපල් සමාගමට අයිතිය ඇත්තේ Happy Birthday to You ගීතයේ විශේෂ පියානෝ වාදනයක් සඳහා පමණකැයි’ කියා සිටියේය.

සොහොයුරියන් දෙදෙනා

පැමිණිල්ල විභාගයට ගත් විනිසුරු ජෝර්ජ් කිං(George King)ගේ තීන්දුව වුනේ එම ගීයේ සුවිශේෂී වෘන්දයක් සඳහා මිස ගීයේ සමස්ත අයිතියක් ‘වෝර්නර් චැපල්’ සමාගමට අයත් නොවන බවයි.

Image copyright University of Louisville
Image caption ශුභ උපන් දිනයක් වේවා ගීයේ තනුව

ශුභ උපන් දිනයක් වේවා! ගීතයේ කර්තෘමය අයිතිය තුළින් වෝර්නර් චැපල් සමාගම වසරකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ විස්සක් පමණ උපයන බවයි වාර්තා වන්නේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ ‘කෙන්ටකි’ ප්‍රාන්තයේ වාසය කළ මිල්ඩ්රඩ් සහ පැටී හිල් නමැති සහෝදරියන් දෙදෙනකු විසින් 1893 වසරේදී ශුභ උපන් දිනයක් වේවා! ගීතය රචනා කරන ලදැයි සැලකෙයි.

ශුභ උදෑසනක්

‘ඔබ හැමට ශුභ උදෑසනක්!’(Good Morning To All) යනුවෙන් ඔවුන් රචිත ගීයයි පසුව ශුභ උපන් දිනයක් ගීය බවට හැඩ ගැසී ඇත්තේ.

2013 වසරේ එම ගීයේ කර්තෘමය අයිතිය සම්බන්ධයෙන් වෝර්නර් චැපල් සමාගමට එරෙහිව නඩුකරයක් ගෙනෙන ලද්දේ රූපා මාර්යා සහ රොබර්ට් සීගල් විසිනි.

Image copyright Getty

ඔවුන් දෙදෙනා ගීතය පාදක කර ගනිමින් චිත්‍රපටයක් නිමැවීමටයි කටයුතු කරමින් සිටියේ.

එහෙත් එම ගීය චිත්‍රපටයට ඇතුළත් කිරීමට නම් තමන්ට ඇමෙරිකානු ඩොලර් 1500 ක් ගෙවන මෙන් වෝනර් චැපල් ව්‍යාපාරය ඉල්ලීමක් කර තිබුණ අතර ඊට එරෙහිවයි නඩුකරය පවරන ලද්දේ.