ලොව පුරා කාන්තාවන් ලක්ෂ හතක් සිර මැදිරිවල

  • 2015 සැප්තැම්බර් 23
Image caption එල් සැල්වදෝරය, බ්‍රසීලය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව යන රටවල සිරගත වන කාන්තාවන් ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ

ලෝකය පුරා ලක්ෂ 7 කට අධික කාන්තාවන් සංඛ්‍යාවක් බන්ධනාගාර ගත ව සිටින බව වාර්තාවකින් හෙළි වී තිබේ.

සිරගත වන කාන්තාවන්ගේ සංඛ්‍යාව වසර 2000 සිට 50% න් ඉහළ ගොස් ඇති බවයි ලන්ඩනයේ අපරාධ ප්‍රතිපත්ති සමීක්ෂණ අධ්‍යයන ආයතනය පවසන්නේ.

මෙම ලක්ෂ හතක කාන්තා බන්ධනාගාර රැඳවියන් සංඛ්‍යාවෙන් හරි අඩක් ඇමරිකාව, රුසියාව හා චීනය යන රටවල් තුනට අයත් වෙයි.

මේ සමීක්ෂණය පිලිබඳ අදහස් දක්වන අධ්‍යයන කණ්ඩායම ලොව පුරා රජයන්ගේ අවධානය මේ පිළිබඳව යොමුවිය යුතු බවද අවධාරණය කරයි.

“කාන්තාවන් සහ ගැහැණු ළමුන් කියන්නෙ පහසුවෙන් ගොදුරු බවට පත් විය හැකි අඩු ප්‍රතිලාභ ලබන පිරිසක්. ඒ වගේම ඔවුන් පහසුවෙන් අපරාධ සහ හිංසනයන් ගේ ගොදුරු බවට පත් වෙන්න පුළුවන්” යනුවෙන් පවසන්නේ ලන්ඩනයේ බර්ක්බෙක් විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජෙසිකා ජේකබ්සන්.

ඉහත කී වාර්තාව සැකසීම පිණිස රටවල් 219 ක් සහ එම ඇතැම් රටවල් යටතේ පාලනය වන කුඩා පාලන ඒකක සැලකිල්ලට ගෙන තිබේ.

මෙම සමීක්ෂණයේ දී චීනය පිලිබඳ දත්ත අසම්පුර්ණ බව පවසන සමීක්ෂකයන් පවසන්නේ ඇතැම් රටවල් සිරගත වී සිටින කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ පිලිබඳ සත්‍ය තොරතුරු ලබා දී නැති හෙයින් එම සංඛ්‍යාව වාර්තාගත සංඛ්‍යාවට වඩා වැඩි විය හැකි බවයි.

අවම කාන්තා සිර ගත කිරීම් සංඛ්‍යාව අප්‍රිකාවෙන් වාර්තා වන අතර එල් සැල්වදෝරය, බ්‍රසීලය, කාම්බෝජය සහ ඉන්දුනීසියාව යන රටවල සිරගත වන කාන්තාවන් ගේ සංඛ්‍යාව විශාල වශයෙන් ඉහල ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර