මීනා හජ්ජි මරණ වලට වගකිවයුතු කවුද?

  • 2015 සැප්තැම්බර් 25

හජ්ජි වන්දනාවේ නිරත වෙමින් සිටියදී මහජන තෙරපීමෙන් වැටී පයට පෑගී මරණයට පත් ඉස්ලාමීය වන්දනාකරුවන්ගේ ජීවිත පිලිබඳ වගකීම පැවරෙන්නේ කාටද යන්න සම්බන්ධයෙන් විවාදයක් ආරම්භ වී ඇත.

අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව සෞදි අරාබියේදී බ්‍රහස්පතින්දා (24) සිදු වූ අනපේක්ෂිත අනතුරින් මේ වන විට මරණයට පත් ගණන යටත් පිරිසෙයින් 717 ක් වන අතර තවත් වන්දනාකරුවන් 863 කට තුවාල සිදු වී ඇත.

සෙන්ට්‍රිගේට් අංශක හතළිස් පහක පමණ උණුසුම් කාලගුණයක් පවතිද්දී (46C) ලක්ෂ විස්සක් පමණ වූ ඉස්ලාමීය වන්දනාකරුවන් මීනා නගරයේ වන්දනාවේ නිරතව සිටියදීයි තෙරපීම සිදු වුණේ.

එකම මාවතේ දෙපැත්තකින්

Image caption මක්කම මහ පල්ලිය අභ්‍යන්තරයේ විශාල ජනකායක්.

සාම්ප්‍රදායික ආගමික චාරිත්‍ර අනුව මීනා නගරයේ ‘ජම්රාට්’ කුළුණු වලට ගල් හතකින් පහර දී ආපසු පැමිණෙමින් සිටි සහ එම චාරිත්‍රය සඳහා ගමන් ගනිමින් සිටි සංඛ්‍යාත්මකව විශාල ගණනක් වූ වන්දනාකරුවන් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට එකම මගක ගමන් ගැනීමේදී තෙරපීම සිදු වී ඇති බවයි පැවසෙන්නේ.

මෙය වසර විසිපහක කාලයක් ඇතුළත හජ්ජි වන්දනා සමයක සෞදි අරාබියේ සිදු වූ දරුණුතම අනතුරයි.

මෙයින් මාසයකට පමණ පෙර මක්කම මහා පල්ලිය අසල යෝධ දොඹකරයක් කඩා වැටීමෙන් ද ජීවිත 109 ක් විනාශ විය.

අකාර්යක්‍ෂමතාව

සෞදි අරාබියේ කලාපීය ප්‍රතිවාදියා වන ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලය අකාර්යක්ෂමතාව සම්බන්ධයෙන් රියාද් පාලනයට චෝදනා කරමින්,සිදු වූ මරණ වල වගකීම ඔවුන් භාර ගත යුතු බවයි කියා සිටින්නේ.

Image copyright bb
Image caption කැමරා මගින් මහජන ආරක්ෂාව අධීක්ෂණය කිරීමේ වැඩසටහනක්

මීනා අනතුරින් මරණයට පත් වන්දනාකරුවන් අතරින් වැඩිම මරණ සංඛ්‍යාව අයත් තනි රට ඉරානයයි. මරණයට පත් ඉරාන් ජාතිකයන්ගේ ගණන 131 දෙනෙකි.

‘සෞදි අරාබියේ අකාර්යක්‍ෂමතාවය මේ අනතුරට හේතුවයි. හජ්ජි වන්දනාකරුවන් කළමනාකරණය අතින් සෞදි ආණ්ඩුව අපොහොසත් වෙලා තියෙනවා.ඒ නිසා මෙහි වගකීම ඔවුන් භාර ගත යුතුයි’ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක කෙයිවන් ඛෝස්රවි(Keyvan Khosravi) ඊයේ සිකුරාදා කියා සිටියේය.

ඉරානයේ සුපිරි නායක අයතුල්ලා කුමෙයිනි ද සිකුරාදා සෞදි අරාබියට චෝදනා කරමින් කියා සිටියේ, 'කළමනාකරණයක් නොවීම සහ අවිධිමත් ක්‍රියාමාර්ග හේතුවෙන් මීනා මහා විනාශය සිදු වූ’ බවයි.

ජාතික ශෝක කාලයක්

Image copyright bb

ඉරානය සෞදි විපත වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

ජාතික ආරක්ෂාව භාර ඉරාන් පාර්ලිමේන්තු කමිටුවේ ප්‍රධානී අලෙයිදීන් බෝරෝජෙර්දී (Alaeddin Boroujerdi) පවසන්නේ සෙසු ඉස්ලාමීය රටවල් සෞදි අරාබියට එරෙහිව විරෝධතාවය පළකළ යුතු බවයි.

සිදු වූ මහා ජීවිත විනාශය වන්දනාකරුවන්ගේ විනයානුකූල නොවන හැසිරීමේ ප්‍රතිවිපාකයක් ලෙස සෞදි අරාබියේ ආරක්ෂක ඇමතිවරයා කරන හැඳින්වීම නයිජීරියාව විසින් බැහැර කරනු ලැබ ඇත.

Image copyright EPA
Image caption යක්ෂයාට ගල් ගැසීමේ චාරිත්‍රය

‘මිනිසුන් එකම මගක දෙපැත්තට ගමන් කරනු ලැබීම සිදු නොවිය යුතුව තිබුන දෙයක්’ නයිජීරියානු හජ්ජි නියෝජිත මණ්ඩලයේ ප්‍රධානී එමීර් මුහම්මදු සනුසි පවසයි.

එවැනි වාතාවරණයක් යටතේ උපදෙස් පිලි නොපැදීමක් සම්බන්ධයෙන් 'වන්දනාකරුවන්ට දෝශාරෝපනය කරනු ලැබීම සුදුසු නොවන බවයි' එමීර් මුහම්මදු සනුසි පෙන්වා දෙන්නේ.

තල්ලු කිරීමක්

එහෙත් සෞදි අරාබි සෞඛ්‍යය ඇමති කාලිඩ් අල් ෆලි පවසන්නේ ‘වන්දනාකරුවන් උපදෙස් අනුව කටයුතු කළේ නම් අනතුර වළක්වා ගත හැකිව තිබුණ’ බවයි.

මේ අතර මක්කම නගරයේ වෙසෙන ෆාතිමා මොහමඩ් බීබීසියට අදහස් දක්වමින් වන්දනාකරුවන්ට චෝදනා කළාය.

‘මමත් වන්දනාකරුවන් අතර හිටියා.බොහෝ දෙනෙක් සාමකාමීවයි හැසිරුණේ.කාලගුණය හරිම උණුසුම්.මහජනයාට අවශ්‍ය කළේ ඉක්මනින් වැඳ පුදා ගෙන තමන්ගේ කාර්යය ඉවර කර ගන්න.මොකද හරිම රශ්නයක් තිබුණේ.මහජනයා තල්ලු කරන්න පටන් ගත්තා.’ ෆාතිමා මොහමඩ් පවසන්නීය.

සෞදි අරාබි බලධාරීන් පවසන්නේ අනතුර සම්බන්ධයෙන් විභාගයක් පවත්වන බවයි.