සිරියාවේ අයිඑස් කැරලිකරුවන්ට ප්‍රංශයෙන් ගුවන් ප්‍රහාර

Image copyright
Image caption වසරකට අධික කාලයක්, සිරියානු ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව සටන් වදින එක්සත් ජනපද සහ අරාබි රටවල් කිහිපයක් සමග ප්‍රංශය එක් වී තිබේ

සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන්ට එරෙහිව පළමු වරට ප්‍රංශය ගුවන් ප්‍රහාර දියත් කරයි.

ඉස්ලාමීය කැරලිකරුවන්ගේ බවට හඳුනා ගත් ස්ථාන ඉලක්ක කොට ගුවන් ප්‍රහාර එල්ල කළ බවයි පැරීසියේ ජනාධිපති කාර්යාලය නිවේදනය කළේ.

සිරියාවේ අසල්වැසි ඉරාකයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් ඉලක්ක කොට ප්‍රංශය මීට ඉහතදී ගුවන් ප්‍රහාර එල්ල කළේය.

වසරකට අධික කාලයක්, සිරියානු ඉස්ලාමීය රාජ්‍යයට එරෙහිව සටන් වදින එක්සත් ජනපද සහ අරාබි රටවල් කිහිපයක් සමග ප්‍රංශය එක් වී තිබේ.

Image copyright Reuters
Image caption ආරක්ෂාව පතා දල වශයෙන් සිරියානුවන් ලක්ෂ හතළිහක් පමණ රටෙන් පළා ගොස් තිබේ

2011 වසරේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මිය ගොස් ඇති පිරිස ලක්ෂ දෙකකට අධිකයි.

කැරලිකරුවන් අත පවතින ප්‍රදේශවලට නිසි සොයා බැලීමකින් තොරව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් මරුමුවට පත් වීම සම්බන්ධයෙන් සිරියානු ජනපති බෂර් අල් අසාද්ට චෝදනා එල්ල වේ.

ආරක්ෂාව පතා දල වශයෙන් සිරියානුවන් ලක්ෂ හතළිහක් පමණ රටෙන් පළා ගොස් තිබේ.

ඔවුන්ගෙන් වැඩි දෙනෙක් අසල්වැසි තුර්කිය, ලෙබනනය සහ ජෝර්දානයේ රැකවර පතා සිටින අතර ඇතැමෙක් යුරෝපය බලා පැමිණෙමින් සිටිති.