ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කුන්දුෂ් පරාජයත් සමඟ ජනාධිපතිවරයාට පදවිය අත්හරින මෙන් බලපෑම්

තාලිබාන් ප්‍රහාරකයන් උතුරු ඇෆ්ඝනිස්තානයේ කුන්දුෂ් නගරය යටත් කර ගැනීමත් සමඟ එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පදවියෙන් ඉවත්ව යන මෙන් ජනාධිපති අෂ්රෆ් ඝානි වෙත බලපෑම් කරමින් ඇති බව කාබුල් නගරයෙන් වාර්තා වෙයි.

‘බාලා හිෂාර්’ යුද බලකොටුව තාලිබාන් ව්‍යාපාරය අතට පත් වී ඇති අතර ප්‍රහාරකයන් කුන්දුෂ් ගුවන් තොටුපොල දෙසට ගමන් ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.

ඒ සමඟ ආණ්ඩුවේ හමුදා සහ ප්‍රදේශයේ නිලධාරීහු පසු බසිමින් සිටිති.

ජනාධිපතිවරයා අර්බුදය හමුවේ ක්‍රියා කරන ආකාරය ලජ්ජා සහගත බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පවසන්නේ.

ඇෆ්ඝන් ආණ්ඩුව ප්‍රදේශයට අතිරේක බලඇණි යවා ඇති නමුත් තාලිබාන් ව්‍යාපාරය නගරයට වැටී ඇති මාවත්වල බිම් බෝම්බ අටවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ‘නේටෝ’ යුද හවුල කැරලිකරුවන්ට ගුවනින් පහර දුන් අතර ආණ්ඩුවේ හමුදාවන්ට ආධාර පිණිස කුඩා හමුදාවක් ද යවා ඇත.

මූලෝපාය වශයෙන් වැදගත් කඳු මුදුනක පිහිටි නගරයේ බලය අල්ලා ගැනීමට කැරලිකරුවන් පසුගියදා සමත්වූහ.

තුවාල ලැබූ සාමාන්‍ය වැසියන් හා හමුදා සෙබළුන්ට ප්‍රතිකාර කිරීම සඳහා කුන්දුෂ් රෝහල දැඩි පරිශ්‍රමයක යෙදී සිටියි.

නගරයේ ජල සහ විදුලි සැපයුම විසන්ධි කොට ඇති බවයි පැවසෙන්නේ.

කුන්දුස් මූලෝපාය වශයෙන් ඉතා වැදගත් ඇෆ්ඝන් නගරයකි.

තාලිබාන් පාලන සමයේ එම නගරය කැරලිකරුවන්ගේ උතුරු බලකොටුව වශයෙනුයි පැවතුණේ.

2001 වසරේ තාලිබාන් පාලනය බිඳ වැටීමත් සමග ඔවුන්ට එම ප්‍රදේශය අහිමි විය.