කුන්දුෂ් රෝහලට බෝම්බ ප්‍රහාරයක්

Image copyright AFP Getty
Image caption බෝම්බ ප්‍රහාරයෙන් කඩා වැටුන රෝහල

උතුරු ඇෆ්ඝනිස්තානයේ ‘කුන්දුෂ්’ නගරයේ රෝහලට පහර දෙනු ලැබීම තරයේ හෙලා දකින බව දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය (Medecins Sans Frontieres) විසින් හෙලා දකිනු ලැබ ඇත.

එම ජාත්‍යන්තර සංවිධානය කියා සිටින්නේ වෛද්‍ය කාර්ය මණ්ඩල සහ රෝගීන්ගෙන් පිරුණ රෝහලට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරය ‘තමන්ට පාවිච්චි කළ හැකි බැරෑරුම් වචන උපයෝගී කර ගනිමින්’ තරයේ හෙලා දකින බවයි.

ඇමෙරිකානු යුද හමුදාව පවසන්නේ කුන්දුෂ් රෝහලට එල්ල කරන ලද ප්‍රහාරයට ඇතැම් විට තමන් වගකිව යුතු විය හැකි බවයි.

Image copyright MSF
Image caption ප්‍රහාරයෙන් පසු ගිනි ගන්නා රෝහල

ප්‍රහාරයෙන් නව දෙනකු මරණයට පත් වී ඇති බව දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය විසින් තහවුරු කරනු ලැබ ඇත.

තවත් තිස්හත් දෙනකු බරපතළ තුවාල ලැබ සිටින අතර ඔවුන්ගෙන් දහනව දෙනකු දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානයේ නියෝජිතයෝ වෙති.

රාත්‍රී කාලයේ එල්ල කෙරුණ ප්‍රහාරයට ගොදුරු වූ සෙසු පුද්ගලයන් ගැන සම්පූර්ණ තොරතුරු තවම ලැබී නැත.

දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානය වැඩිදුරටත් පවසන්නේ,ඇෆ්ඝන් සහ වොෂින්ටන් බලධාරීන් ඇතුළු සියලු පාර්ශවයන්ට ඇෆ්ඝන් භූමියේ තමන් ක්‍රියාත්මක වෙන ස්ථාන පිළිබඳව දැනුම් දී තිබුණ බවයි.