තවත් සරණාගත රැල්ලක් ගැන අනතුරු ඇඟවීමක්

Image copyright Reuters

සිරියානු යුද්ධය දරුණු වෙමින් පවතින බැවින් තවත් සරණාගතයන් තිස් ලක්‍ෂයක් පමණ සිරියාවෙන් පලා යනු ඇති බවට තුර්කිය පවසයි.

තුර්කිය මෙම නිවේදනය කරන්නේ යුරෝපා හවුලේ රටවලට අනතුරු ඇඟවීමක් වශයෙන්.

මේ බව සඳහන් ඇස්තමේන්තුවක් තුර්කි ජනාධිපතිවරයාගෙන් ලැබුණු බවට යුරෝපා හවුලේ සභාපතිවරයා ද සනාථ කළා.

Image copyright Tim Facey BBC

යුරෝපා හවුලේ සභාපතිවරයා පවසන්නේ සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් යුද්ධයෙන් ජයග්‍රහණය කළහොත් තවත් සරණාගත රැල්ලක් ඇතිවිය හැකි බවයි.

රුසියාවේ සහ ඉරානයේ මැදිහත් වීම නිසා මේ තත්වය ඇතිවීමට ඇති ඉඩකඩ තවත් ඉහල ගොස් ඇති බවයි ඔහු තවදුරටත් කියා සිටියේ.

රුසියානු ප්‍රහාරක යානා සිරියාවට බෝම්බ හෙලීම මේ වන විට මතභේදයට ලක් වී තිබේ.

සිරියානු ජනාධිපතිවරයාට රුසියාවේ සහයෝගය දිගටම ලැබුණු අතර තුර්කියේ උදව් උපකාර ලැබෙන්නේ සිරියානු ජනාධිපතිවරයාට එරෙහිව සටන් වදින කැරලිකරුවන්ටයි.

2011 වසරේ ආරම්භ වූ සිරියානු සිවිල් යුද්ධයට මැදි වී මිය ගොස් ඇති පිරිස ලක්ෂ දෙකකට අධිකයි.

කැරලිකරුවන් අත පවතින ප්‍රදේශවලට නිසි සොයා බැලීමකින් තොරව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් සාමාන්‍ය වැසියන් මරුමුවට පත් වීම සම්බන්ධයෙන් සිරියානු ජනපති බෂර් අල් අසාද්ට චෝදනා එල්ල වේ.