සෞදියේදී ඉන්දීය කතගේ අතක් කැපීම ගැන කෝපය

ගෘහ සේවිකාවක ලෙස සේවයේ නිරත වෙමින් සිටි ඉන්දීය කාන්තාවකගේ අතක් ඇගේ හාම්පුතා විසින් කපා දැමීමේ සිද්ධියක් සෞදි අරාබියෙන් වාර්තා වෙයි.

තමාට වධ දී අඩන්තේට්ටම් කළ බවට පැමිණිලි කරමින් සේවයේ නිරතව සිටි නිවසින් පලා යාමට තැත් කළ අවස්ථාවේ දී ඇගේ දකුණු අත කපා දැමූ බවටයි චෝදනා එල්ල වන්නේ.

මේ සිද්ධියෙන් තමා මහත් කැළඹීමකට පත්වූ බව ඉන්දීය විදේශ ඇමතිනී සුස්මා ස්වරාජ් ප්‍රකාශ කළාය.

තමා මේ සම්බන්ධයෙන් සවුදි බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි ඇය පැවසුවේ.

ට්විටර් පණිවිඩයක්

මෙවැනි ම්ලේච්ජ සිදුවීම් වලට ඉඩ දිය නොහැකි බව ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින සෞදි අරාබියේ ඉන්දීය තානාපති කාර්යාලය වගකිවයුත්තන්ට එරෙහිව පියවර ගන්නා ලෙස සෞදි බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බවට වාර්තා වෙයි.

කස්තුරි මුනිරතිනන් නැමති එම කාන්තාව වද දීම් වලට ලක් වීම හේතුවෙන් ඉකුත් සැප්තැම්බර් 29 වැනිදා හාම්පුතාගේ නිවසින් පලා යාමට තැත් කොට ඇති බව PTI පුවත් සේවය වාර්තා කරයි.

හාම්පුතාගේ නිවසේ ස්වාමි දුව කෝපයට පත්ව ඇගේ අත කපා දමා ඇති බවටයි චෝදනා එල්ල වී තිබෙන්නේ.

ඇය මේ වන විට රියාද් නුවර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියි.

තමිල්නාඩුවේ වෙල්ලෝර් හි පදිංචිකාරියක වන ඇය සෞදි අරාබිය බලා පිටව ගොස් ඇත්තේ මීට මාස තුනකට පෙර දීයි.

තම ගෘහ සේවිකාව දූෂණය කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු සෞදි අරාබි තානාපති නිලධාරියකුට ඉන්දියාවෙන් පිටව යන ලෙසට ඉන්දීය රජය විසින් නියෝග කිරීමෙන් මාසයකට පසුවයි මේ සිද්ධිය වාර්තාවන්නේ.