ගව ඝාතනයක් මුල් කර ගනිමින් ඉන්දියාවේ තවත් ප්‍රහාරයක්

Image copyright Reuters
Image caption මුස්ලිම් ජාතිකයන් විසින් ගවයකු ඝාතනය කොට ඇතැයි කටකතාවක් පැතිර ගොස් ඇති බව බලධාරීහු පවසති

ගව ඝාතනයේ නියැලුණු බවට චෝදනා කරමින් මුස්ලිම් ජාතිකයන් දෙදෙනකුට කළ පහර දීමක් සම්බන්ධයෙන් විසි එක් දෙනකු අත්අඩංගුවට ගත් බව ඉන්දීය පොලිසිය පවසයි.

යකඩ පොලු සහ දඬු අතැතිව පැමිණි පන්සීයක පිරිසක් මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළඳසැල් ගිනි තබා ඇති බවයි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වන්නේ.

එම පිරිස පලවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කොට තිබේ.

මුස්ලිම් ජාතිකයන් දෙදෙනා විසින් ගවයකු ඝාතනය කොට ඇතැයි කටකතාවක් පැතිර ගොස් ඇති බව බලධාරීහු පවසති.

සාදයකදී ගව මස් සහිත ආහාරවලින් සංග්‍රහ කළ කාශ්මීරයේ මුස්ලිම් ජාතික දේශපාලනඥයකුට ඉන්දියාවේ පාලක පක්ෂය වන බීජේපී පක්ෂයේ මන්ත්‍රීවරු මීට දින කිහිපයකට ඉහතදී පහර දුන්හ.

ඉන්දියාවේ ප්‍රාන්ත බොහෝමයක ගව ඝාතනය නීතියෙන් තහනම්.

ඉන්දියානුවන් බහුතරයක් හින්දු භක්තිකයන් වන අතර ඔවුහු ගවයා දේවත්වයේ ලා සලකති.

ගව ඝාතනය, වෙළඳාම සහ පරිභෝජනය සම්බන්ධයෙන් පවතින නීති රීති දැඩි කිරීමට වර්තමාන ඉන්දීය හින්දු දක්ෂිණාංශික ආණ්ඩුව කටයුතු කළේය.