අර්බුද මැද නේපාලයට නව අගමැතිවරයෙක්

Image copyright Reuters
Image caption ඛඩ්ගා ප්‍රසාද් ඕලී, නේපාලයේ නව ව්‍යවස්ථාව යටතේ පත් වූ පළමු අගමැතිවරයායි

රටේ පවතින දේශපාලන අර්බුදය සහ ඛනිජ තෙල් හිඟය මධ්‍යයේ නේපාල පාර්ලිමේන්තුව නව අගමැතිවරයකු තෝරා පත් කර ගත්තේය.

ඒ අනුව ඛඩ්ගා ප්‍රසාද් ඕලී, නේපාලයේ නව ව්‍යවස්ථාව යටතේ පත් වූ පළමු අගමැතිවරයා බවට පත් වේ.

හිටපු අගමැති සුෂිල් කොයිරාල නැවතත් එම ධුරය සඳහා ඉදිරිපත් වූ නමුත් රාජාණ්ඩුවාදීන්, මාඕවාදී වාමාංශිකයන් සහ මධ්‍යස්ථ මතධාරීන්ගේ සහාය හිමි වූයේ ඛඩ්ගා ප්‍රසාද් ඕලී වෙතයි.

නව අගමැතිවරයා ගතානුගතිකවාදී මතවාදයක් දරන්නෙක් බවටයි සැලකෙන්නේ.

Image copyright ram sarraff
Image caption නේපාලය වෙත කෙරෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඛනිජ තෙල් ප්‍රවාහනය හිතා මතා අහුරා දැමූ බවටත් ඉන්දියාවට චෝදනා එල්ල විය

එබැවින් නව අගමැති ඕලීට හිටපු අගමැති සුෂිල් කොයිරාල තරම්වත් මධේෂි ප්‍රජාව සතු ගැට‍ළු ආමන්ත්‍රණය කිරීමට නොහැකි වනු ඇති බව ඇතැම් විශ්ලේෂකයෝ පවසති.

නේපාල නව ව්‍යවස්ථාව මගින් තමන් තවදුරටත් කොන් කෙරෙනු ඇතැයි විශ්වාස කරන මධේෂි ජනතාව එයට විරෝධය පළකරති.

ඉන්දියාවේ සිට ප්‍රවාහනය කෙරෙන ඛනිජ තෙල් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයුම් අවහිර කොට නව ව්‍යවස්ථාවට විරෝධය පළ කරමින් මධේෂි ප්‍රජාව උද්ඝෝෂණ පැවැත් වූහ.

නේපාල නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉන්දියාව නොසතුටට පත් වී ඇති බවට මේ අතර වාර්තා පළ වේ.

නේපාලය වෙත යැවෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඛනිජ තෙල් ප්‍රවාහනය හිතා මතා අහුරා දැමූ බවටත් ඉන්දියාවට චෝදනා එල්ල විය.

එනමුත් දිල්ලි පාලනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.