තුර්කියේ ශෝක කාලයක්

Image copyright EPA
Image caption වෘත්තීය සමිති විසින් මෙම රැලිය සංවිධානය කර ඇත්තේ කුර්දිෂ් සටන් කරුවන්ට එරෙහි ව තුර්කි රජය කරන පහරදීම් නවත්වන ලෙස ඉල්ලමින්

තුර්කි බෝම්බ ප්‍රහාරයෙන් මරුමුවට පත් වූ පුද්ගලයන් සිහි කිරීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාව අන්කාරා අගනුවරට රැස් වෙති.

මෙම බෝම්බ ප්‍රහාර දෙක එල්ල වූයේ අගනුවර පැවති සාමකාමී රැළියක් අතරතුරයි.

ප්‍රහාරයෙන් මරුමුවට පත් පිරිස 95 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස 200 කට අධිකයි.

පිපිරීම සිදු වූ ස්ථානයට පැමිණ මිය ගිය පිරිස් සිහි කොට මල්වඩම් තැන්පත් කිරීමට උත්සාහ ගත් පිරිස් සහ පොලිසිය අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ.

Image copyright epa
Image caption පිපිරීම සිදු වූ ස්ථානයට පැමිණ මිය ගිය පිරිස් සිහි කොට මල්වඩම් තැන්පත් කිරීමට උත්සාහ ගත් පිරිස් සහ පොලිසිය අතර ගුටිබැට හුවමාරුවක් සිදු වී තිබේ

නිසි ආරක්ෂාව සැපයීමට අපොහොසත් වූ බවට තුර්කි ආණ්ඩුවට චෝදනා කරන රැළියේ සංවිධායකයින් ඒ පිළිබඳ කෝපය පළ කරන බවයි තුර්කියේ සිටින බීබීසී වාර්තාකාරිනිය සෙලින් ගිරිට් පවසන්නේ.

ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වන චෝදනා තුර්කි ආණ්ඩුව ප්‍රතික්ෂේප කළේය.

Image copyright Getty Images
Image caption ප්‍රහාරයෙන් මරුමුවට පත් පිරිස 95 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ පිරිස 200 කට අධිකයි

මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකු විසින් ප්‍රහාරය එල්ල කොට ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි අග්‍රාමාත්‍ය ආමට්දවුටෝග්ලු පැවසුවේය.

සැකකරුවන් කිහිප දෙනකු රැඳවුම් භාරයට ගෙන ඇති බවත් ඔහු කියා සිටියේය.

බිහිසුණු ප්‍රහාරයෙන් මරණයට පත් වූවන් සිහි කිරීම සඳහා තුර්කිය තෙදිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කොට තිබේ.