සිරියාවේ රුසියානු තානාපති කාර්යාලයට ෂෙල් ප්‍රහාර

Image copyright epa
Image caption ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ රුසියානු ගුවන් ප්‍රහාරවලට සහාය පළ කොට ආණ්ඩුවේ ආධාරකරුවන් සිය ගණනකගේ සහභාගීත්වයෙන් තානාපති කාර්යාලය ඉදිරිපිට රැළියක් පැවති අතරතුරදීයි

සිරියාවේ දමස්කස් අගනුවර පිහිටි රුසියානු තානාපති කාර්යාල භූමියට ෂෙල් ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ.

ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ රුසියානු ගුවන් ප්‍රහාරවලට සහාය පළ කොට ආණ්ඩුවේ ආධාරකරුවන් සිය ගණනකගේ සහභාගීත්වයෙන් තානාපති කාර්යාලය ඉදිරිපිට රැළියක් පැවති අතරතුරදීයි.

ප්‍රහාරයෙන් කිසිවකුත් මියගොස් නැතත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි දමස්කස් අගනුවර සිටින බීබීසී අරාබි භාෂා සේවයේ වාර්තාකරු පවසන්නේ.

පිපිරීම සිදුවීමත් සමග ඒ අවට දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් පැවති අතර තානාපති කාර්යාලය දෙසින් දුම් වලා නැගෙනු දැක ගත හැකිවිය.

'ත්‍රස්ත ප්‍රහාරයක්'

රුසියානු විදේශ අමාත්‍ය සෙර්ගෙයි ලව්රොෆ් මෙම ප්‍රහාරය හැඳින්වූවේ 'ත්‍රස්ත ප්‍රහාරයක්' ලෙසින්.

ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානයට එරෙහිව සිදු කෙරෙන සටන්වලට බාධා කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කොට ඇති බවත් රුසියානු විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර සිරියාවේ උතුරු ප්‍රදේශයේ ජනයා බලහත්කාරයෙන් පළවා හරිමින් නිවාස කඩා බිඳ දමන බවට ඇම්නෙස්ටි ජාත්‍යන්තරය කුර්දි හමුදාවලට චෝදනා කළේය.

එවැනි ක්‍රියා යුද අපරාධ ලෙස සැලකෙන බවත් ඇම්නෙස්ටි ජාත්‍යන්තරය නිකුත් කළ වාර්තාවේ සඳහන්.

ඉස්ලාමීය කැරලිකරුවන් අත පැවති මුදා ගත් ගම්මාන මුළුමනින් විනාශ කොට ඇති බවටත් චෝදනා එල්ල වේ.

කුර්දි හමුදා දිගින් දිගටම එම චෝදනා ප්‍රතික්ෂේප කරති.