ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'ලෙන් දොර බිඳින්න ' වීදි බට ඉන්දීය ශිෂ්‍යාවෝ

පොදු ස්ථානවල තමන්ට ඇති අයිතිය සහතික කරනු වස් තරුණ ඉන්දීය ශිෂ්‍යාවෝ අරගල ව්‍යාපාරයක් දියත් කරති.

'නිදහසේ ඇවිද යෑමට ඇති අයිතිය', ඔවුන්ගේ සිහින සහ අභිලාෂයන් මුඳුන් පත් කර ගැනීමේ අරමුණින් හඬ නගන මෙම ව්‍යාපාරය 'Break The Cage' නැතහොත් 'ලෙන් දොර බිඳීම' යනුවෙන් නම් කොට තිබේ.

රාත්‍රිය උදා වෙත්ම බැනර් පුවරු අතින් ගත් තරුණ තරුණියන් හැට දෙනකු පමණ දිල්ලි අගනුවර පිහිටි ඇතැම් විශ්වවිද්‍යාල අවට වීදි සංචාරයේ යෙදෙන්නේ සටන් පාඨ හඬ නගිමින්.

කාන්තා නේවාසිකාගාර දොරටු අසල මදකට නැවතෙන ඔවුහු පිටත සිට නැටුම් ගැයුම් පාමින් නේවාසිකාගාර තුළ සිටින සහෝදර ශිෂ්‍යාවන් හා අදහස් හුවමාරු කර ගනිති.

'අපට බොරු රැකවරණයක් අවශ්‍ය නැහැ. රටෙන් භාගයක් වන ගැහැණු කොටු කර තබා ගන්න බැහැ,' ඒ සිය අයිතිය වෙනුවෙන් හඬ නගන තරුණියන්ගේ හඬයි.

තරුණයන් වාදනයෙන් සහාය ලබා දෙන අතර එක් තරුණියක් සිය හඬ අවදි කරන්නීය.

'බොරු රැකවරණ'

'නීති දමමින් වාසස්ථානවලට වෙලාවට එන්න අවශ්‍ය බව පවසමින් ආරක්ෂාවේ නාමයෙන් කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමට එරෙහිව ලෙන් දොර බිඳීම, ව්‍යාපාරයක් දක්වා වර්ධනය වී තිබෙනවා,

හැම නේවාසිකාගාරයකම වගේම එලියට ගොස් පැමිණිය යුතු වෙලාවක් තියනවා. රෑ හය හමාර හෝ නවය හමාර වෙන කොට නැවත පැමිණෙන්න අවශ්‍යයි,' ලෙන් දොර බිඳීම ව්‍යාපාරයේ ක්‍රියාධරනියක් වන දිවාන්ගනා පවසන්නීය.

'බොහොමයක් විශ්වවිද්‍යාල වල පුස්තකාල රෑ දොළහ වෙනකම් විවෘතව තිබෙනවා. සමහර විශ්වවිද්‍යාල වල රෑ දෙක දක්වා පුස්තකාල විවෘතයි. විද්‍යාගාර රෑ වෙනකම් ඇරලා. ගැහැණු ළමයිව නේවාසිකාගාර තුළ සිර කරලා. විශ්වවිද්‍යාල පුස්තකාලයකට ගියොත් පිරිමි ළමයි විතරක් ඉගන ගන්නවා දකින්න පුළුවන්'

'පාර තොටේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි කියන දේ තමයි අපේ තර්කය වෙලා තිබෙන්නේ. ඒක කරන්න පුළුවන් වෙන්නේ ඔවුන්ට පොදු ස්ථානවලට පිවිසීමට ඇති අයිතිය තහවුරු කිරීමෙන් පමණයි,' තරුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ශාම්බාවී කියා සිටියාය.

රෆිඋල් අලෝම් රහුමාන් ලෙන් දොර බිඳීමට සහාය පළ කරන විශ්වවිද්‍යාල තරුණයෙක්.

'සදාචාරාත්මක ලේබල'

'පොදු ස්ථානවල කාන්තාවන් ගැවසෙනවා කියන අගතිගාමී ආකල්පය ප්‍රශ්න කිරීම අවශ්‍යයි. හොද ගැහැණු එලි පහලියට යන්නේ නැහැ කියලා මතයක් තිබෙනවා. මම හිතන්නේ ඒක වැරදියි. රැකියාවක් කරන ඇඳිරි වැටිලා ගෙදර එන කාන්තාවන්ට එතකොට මොකද වෙන්නේ. එවැනි අයකුගේ චරිතයට සදාචාරාත්මක ලේබලයක් අලවන්න කාටවත් බැහැ. ස්වාධීන කාන්තාවෝ තමන් කැමති විදිහට අදිනවා පළදිනවා, ගමන් බිමන් යනවා. ගොඩාක් මිනිස්සු තාමත් කැමති නැහැ කාන්තාවන් ස්වාධීන වෙනවා දකින්න,' රහුමාන් පැවසුවේය.

මීට පෙර පැවති විරෝධතා හමුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට පොදු ස්ථානවලට පිවිසීම සඳහා වූ රීති සහ කාල වේලාවන් බලධාරීන් විසින් ලිහිල් කලත් එය ප්‍රමාණවත් නොවන බවයි ලෙන් දොර බිඳීම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ.

විවිධ වයස් කාණ්ඩවල නොයෙකුත් සමාජ ස්ථරයන්ට අයත් ඉන්දීය කාන්තාවන්ට නිවෙස් තුළ සිර වී දිවි ගෙවීමට සිදු වී ඇති බව පවසන විශ්වවිද්‍යාල තරුණියක වන වික්‍රම් ඉන් මිදීම සඳහා ජීවිත කාලය පුරාම සටන් කිරීමට සිදු වී ඇති බවයි කියා සිටියේ.

'දැනට වසර හතළිහකට පනහකට පෙර විශ්වවිද්‍යාල වරම් ලබා ගැනීම සඳහා කාන්තාවන්ට ලෙන් දොර බිඳින්න සිද්ධ වුනා. අද අපි ලෙන් දොර බිඳින්න උත්සාහ කරන්නේ රෑ හතෙන් පසු පුස්තකාලයට ගිහින් ඉගෙන ගන්න'