සිඩ්නි ළමා දූෂණයට පස් දෙනෙක් අත්අඩංගුවේ

ඔස්ට්‍රේලියාවේ දාසය හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක් කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සොයා ගැනීමෙන් පසු සිඩ්නි නුවර පොලිසිය පුද්ගලයන් පස් දෙනකුට එරෙහිව ලිංගික අපරාධ යටතේ චෝදනා ගොනු කර තිබේ.

සිඩ්නි පොලිසිය ප්‍රකාශ කළේ එලෙස චෝදනා ගොනු කළ පුද්ගලයන් පස් දෙනාගෙන් හතර දෙනකු අවුරුදු 20ත් 30ත් අතර වයසේ තරුණයන් වන අතර එක් පුද්ගලයකු 17 හැවිරිදි වියේ පසු වන බවයි.

මෙම සැක කරුවන් පස් දෙනා අත්අඩංගුවට පත් වී තිබෙන්නේ සිඩ්නි පොලිසිය විසින් ගෙන ගිය අසැබි වීඩියෝ වැටලීමක දී දැරියක සමූහ දූෂණයට ලක් කරන අයුරු පටි ගත කර තිබූ වීඩියෝ කැමරාවක් සොයා ගැනීමෙන් අනතුරුවයි.

රාත්‍රි සාදය

පසුගිය මැයි මාසයේ සිඩ්නි නුවර ශාන්ත ක්ලෙයාර් පෙදෙසේ පැවති රාත්‍රි සාදයක දී මෙම සමූහ දූෂණය සිදු වී ඇති බවත් ඒ අවස්ථාවේ මේ සම්බන්ධයෙන් පොලිසියට කිසිදු පැමිණිල්ලක් නොලැබුණු බවත් පොලිසිය පවසයි.

සමූහ දූෂණය සිදු වූ කාමරයේ පුද්ගලයන් අට දෙනෙකු පමණ සිටින ආකාරය මිනිත්තු 16ක් දීර්ඝ වීඩියෝවේ දැක ගත හැකි අතර ඉන් කිහිප දෙනෙකුම දැරියට ලිංගික හිරිහැර කරනු දැක්වෙන බවයි පොලිසිය වාර්තා කළේ.

අපරාධය සිදු වන අවස්ථාවේ දැරිය පියවි සිහියෙන් නොසිටි බව වීඩියෝවේ දැක්වෙන අතර සාදයේ දී යමෙකු ඇයගේ බීමට යම් මත් ද්‍රව්‍යයක් දමන්නට ඇති බවට සැක කළ හැකි බවයි පොලිසිය පවසන්නේ.

මේ වන විට සිඩ්නි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.