ඉන්දියාවේ රාත්‍රි සමාජ ශාලා තහනම ඉවතට

Image copyright Getty

ඉන්දියාවේ මහාරාෂ්ට ප්‍රාන්තයේ සහ මුම්බායි අගනුවර රාත්‍රි සමාජ ශාලා වලට පනවා තිබූ තහනම තාවකාලිකව ඉවත් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන තිබේ.

මේ හේතුවෙන් වසා දමා තිබූ රාත්‍රි සමාජ ශාලා නැවතත් විවෘත කිරීමට හැකියාව ලැබී ඇති බවයි පැවසෙන්නේ.

යොවුන් පරපුර නොමග යැවීම, අපරාධ කල්ලි වලට ක්‍රියාත්මක වීමට පහසු වාතාවරණයක් සැකසීම සහ ගණිකා වෘත්තිය ක්‍රියාත්මක කිරීම වැනි හේතු පෙන්වා දුන් මහාරාෂ්ට ප්‍රාන්තය පළමු වරට මෙම නෘත්‍ය ශාලා තහනම් කිරීමට පියවර ගත්තේ 2005 වසරේදීයි.

රාත්‍රි සමාජ ශාලා හිමියන් සහ නාටිකාංගනාවන් විසින් දිගින් දිගටම තහනමට සිය දැඩි විරෝධය පාමින් උද්ඝෝෂණ ක්‍රියාත්මක කළ අතර 2013 වසරේ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ රාත්‍රි සමාජ ශාලා හිමියන් අලුතින් අවසර පත්‍ර ලබා ගැනීම සඳහා අයදුම් පත් ඉදිරිපත් කළ යුතු බවයි.

නව නීතියක්

කෙසේ වෙතත් 2014 වසරේ මහාරාෂ්ට ප්‍රාන්ත ආණ්ඩුව විසින් ගෙන එන ලද නව නීතියක් මගින් රාත්‍රි සමාජ ශාලා සම්පූර්ණයෙන්ම තහනම් කෙරිණ.

වාර්තා වලට අනුව තහනමට පෙර ලක්ෂයකට අධික කාන්තාවන් පිරිසක් එක්දහස් හාරසීයකට වැඩි රාත්‍රි සමාජ ශාලාවල නාටිකාංගනාවන් ලෙස සේවය කර ඇත.

මෙම රාත්‍රි සමාජ ශාලාවල නාටිකාංගනාවන් වේග රිද්ම ඉන්දීය සංගීතයට රංගනයේ යෙදෙන අතර ඇතැම් විට ප්‍රේක්ෂකයන් විසින් ඔවුන් වෙතට මුදල් විසි කරනු දැක ගත හැක.