උප ජනපති 'ආරක්ෂාවට තර්ජනයක්'

Image copyright Getty
Image caption මාල දිවයින් ජනාධිපති අබ්දුල්ලා යමීන්

අත්අඩංගුවට ගනු ලැබූ මාලදිවයින් උප ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව එරට ජනපති අබ්දුල්ලා යමීන් පවසයි.

අහමඩ් අදීබ් උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගනු ලැබුණේ ජනාධිපති අබ්දුල්ලා යමීන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට චෝදනා කරමින්.

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කොට උප ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට සිදු වූ බවයි ජනපති අබ්දුල්ලා යමීන් කියා සිටියේ.

මාලදිවයිනේ මාලේ අගනුවර බලා යාත්‍රා කරමින් තිබූ ජනපතිවරයා රැගත් බෝට්ටුවේ බෝම්බයක් පුපුරා ගියේ මීට මසකට ඉහතදීයි.

පිපිරුමෙන් යාන්තමින් දිවි ගලවා ගැනීමට ජනපතිවරයා සමත් විය.

Image copyright Getty
Image caption අත්අඩංගුවට ගනු ලැබූ උප ජනාධිපති අහමඩ් අද්හීබ් දූපතක රඳවා ඇති බවයි මාල දිවයින් නිලධාරියෙක් ප්‍රකාශ කළේ

ගෙවුණු අවුරුදු කිහිපය තුළ මාලදිවයින් ජන රජයේ දේශපාලන ගැටුම් කිහිපයක් වාර්තා වුණි.

උප ජනපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමග කලබල පැතිර යෑම මැඩලීමේ අරමුණින් මාලේ අගනුවර ආරක්ෂාව තර කොට ඇති බවයි මාලදිවයින් බීබීසී වාර්තාකරු පවසන්නේ.