දශක පහකට පසු ටැන්සානියාවේ උණුසුම් මැතිවරණයක්

Image copyright Getty

ටැන්සානියාවේ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය වෙනුවෙන් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට ඉතා විශාල ප්‍රමාණයෙන් ටැන්සානියා වැසියන් ඡන්ද පොළවල් කරා ඇදෙමින් සිටියි.

මීට පනස් හතර වසරකට පෙර CCM (Chama Cha Mapinduzi) පක්ෂය ටැන්සානියාවේ පාලක පක්ෂය වශයෙන් බලයට පැමිණි අතර ඉන් පසු පළමු වතාවටයි උණුසුම් තරගකාරී මැතිවරණයක් එරට පැවැත්වෙන්නේ.

ඡන්ද දායකයන් ඉතා සාමකාමී අයුරින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ කටයුතු වල නිරත වූ බවයි ටැන්සානියා පොලිසිය ප්‍රකාශ කළේ.

Image copyright Getty

පාලක පක්ෂයෙන් තරග වදින ජෝන් මගුෆුලිට එරෙහිව මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ CCM පක්ෂයෙන් මෑතකදී ඉවත් වූ හිටපු අගමැතිවරයෙකු වන එඩ්වඩ් ලොවාසායි.

CCM පක්ෂයට එරෙහිව විපක්ෂයේ කණ්ඩායම් හතරක් මෙවර මැතිවරණයේදී හිටපු අගමැති එඩ්වඩ් ලොවාසා සිය පොදු අපේක්ෂකයා ලෙස තෝරා ගැනීම හේතුවෙන් පාලක පක්ෂයට තියුණු තරගයක් ලබා දීමට හැකි වී තිබේ.

ටැන්සානියාවේ හිටපු ජනාධිපති ජකායා කික්වෙතේ දෙවරක් සිය ධුර කාලය හෙබවීමෙන් පසු මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්නේ නැත.

හිටපු ජනාධිපතිවරයාට එල්ල වූ වංචා දූෂණ චෝදනා සහ ඉතා දුර්වල සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවය මීට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.