ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ඇෆ්ගන්-පාකිස්තාන භූමිකම්පාව: සහන සේවා පුළුල් කෙරේ

ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ ඇති වූ භූමිකම්පාවට හසු වී 360 දෙනකු මරුමුවට පත් වී ඇති අතර එම සංඛ්‍යාව ඉහළ යා හැකි බව බලධාරීහු පවසති.

ඉහල යා හැකි මරණ වලින් වැඩි පිරිසක් ඇෆ්ඝනිස්තානයෙන් වාර්තා විය හැකි බවට විශ්වාස කෙරේ.

භූමි කම්පාවෙන් හානියට පත් කලාපයේ දර්කාඩ් ප්‍රදේශයේ බලය තාලිබාන්සංවිධානය විසින් අත් පත් කර ගෙන ඇති බව ඇෆ්ඝන් බලධාරීහු පවසති.

ප්‍රබල භූමිකම්පාවෙන් හානියට පත් ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ ප්‍රදේශවල සහන සේවා කටයුතු ඉහළ නංවා තිබේ.

2000 කට ආසන්න තුවාල ලබා ඇති අතර මරුමුවට පත් පුද්ගලයන්ගෙන් බහුතරයක් පාකිස්තානුවන්.

භූමිකම්පාවට හසු වී පනස් දෙනකු මරුමුවට පත් පාකිස්තානයේ ඊසාන දිග කලාපයේ සංචාරයක යෙදුන එරට අගමැති නවාස් ෂරීෆ් කියා සිටියේ විපතට පත් වූවන් බේරා ගැනීමට අවශ්‍ය ශක්තිය පාකිස්ථානය සතු බවයි.

මේ අතර ඇෆ්ගනිස්තාන ජනපති අෂ්රෆ් ගානි විපතට පත් ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් ඉල්ලා සිටියේ එකිනෙකාට ආධාර උපකාර කර ගන්නා ලෙසයි.

හුදකලා කඳුකර ප්‍රදේශ තුළ භූමිකම්පාව හේතුවෙන් සිදු වී ඇති හානිය මෙතෙක් පැහැදිලි වී නොමැති අතර එම ප්‍රදේශවලට සහන සේවකයින් පිටත් කර යවා තිබේ.

භූචලනයත් සමග ඇති වූ නාය යෑම් හේතුවෙන් එම ප්‍රදේශවල සන්නිවේදන පහසුකම් ඇනහිට ඇති බවයි බලධාරීන් පවසන්නේ.

භූමි කම්පාව ඇති වීමත් සමග ගොඩනැගිල්ලකින් පිටතට පැන යෑමට උත්සාහ කළ ඇෆ්ගනිස්ථානයේ පාසල් දැරියන් දොළොස් දෙනෙක් තෙරපී පයට පෑගී මරුමුවට පත් වූහ.

හානියට පත් කලාපවල දහස් ගණන් ජනයා නැවතත් භූමිකම්පාවක් ඇතිවෙතැයි බියෙන් දැඩි ශීත මධ්‍යයේ එළිමහන් පෙදෙස් තුළ රැය පහන් කළහ.

ඇෆ්ගනිස්තානයේ හින්දු කුෂ් කඳුකර කලාපයේ හට ගෙන ඇති එම භූමි කම්පාව රික්ටර් මාපකයේ අංශක 7.7 ලෙස සටහන් වූ බවයි ඇමරිකානු භූවිද්‍යා පර්යේෂණ ආයතනය නිවේදනය කළේ.

ඊසාන දිග ඇෆ්ගනිස්තානයේ සහ පාකිස්තානයේ ඇති වූ භූමිකම්පාවේ චලනය උතුරු ඉන්දියාවටද දැනී තිබේ.