බංග්ලාදේශයේ බෞද්ධ උරුම සමුළුවක්

Image caption බංග්ලාදේශයේ වසර දෙදහස් පන්සියයක් ඉපැරණි බෞද්ධ උරුමයක් පවතින බව පර්යේෂකයෝ පවසති

බංග්ලාදේශයේ පෞරාණික බෞද්ධ උරුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් දෙදින ජාත්‍යන්තර සමුළුවක් අගමැතිනි ෂෙයික් හසීනා ගේ ප්‍රධානත්වයෙන් ඩකා අගනුවරදී ආරම්භ විය.

ශ්‍රී ලංකාව, ඇෆ්ඝනිස්තානය, ඉන්දියාව සහ නේපාලය ඇතුළු කලාපීය රටවල් දහතුනක නියෝජිතයෝ මේ සමුළුවට සහභාගි වෙති.

වසර දෙදහස් පන්සියයක් ඉපැරණි බෞද්ධ උරුමයක් බංග්ලාදේශයේ පවතින බවයි පර්යේෂකයන් පවසන්නේ.

බටහිර බංග්ලාදේශයේ පිහිටි පහර්පුර් සිද්ධස්ථානය ලොව විශාලතම බෞද්ධ සිද්ධස්ථාන සංකීර්ණයක් ලෙස සැලකෙන අතර, රටේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි මොයිනමති සංකීර්ණයේ තවමත් සිද්ධස්ථාන තිහක නටබුන් පවතී.

කෙසේ නමුත් මේ බෞද්ධ උරුමය බෞද්ධ සංචාරකයන් ඇතුළු බාහිර ලෝකයට ප්‍රදර්ශනය කිරීමට රට අපොහොසත්ව ඇති බව වාර්තාකරුවෝ පවසති.

දකුණු ආසියාවේ බෞද්ධ උරුම ජාලයට බංග්ලාදේශයත් සම්බන්ධ කිරීම දෙදින සමුළුවේ අරමුණයි.

විශේෂයෙන්ම ධනවත් චීන සංචාරකයන් බංග්ලාදේශයට ආකර්ෂණය කරගැනීම මේ සමුළුවේ එක් අරමුණක් බවත් වාර්තාකරුවෝ පවසති.