බංග්ලාදේශ බ්ලොග්කරුවන්ට තවත් මාරාන්තික ප්‍රහාරයක්

Image copyright focus bangla
Image caption ඝාතනයට ලක් වූ ෆොයෙසල් අර්වින් දිපොන්

බංග්ලාදේශයේ ඩකා අගනුවර බ්ලොග් ප්‍රකාශකයකු කපා කොටා ඝාතනයට ලක් කර ඇති බව එරට පොලිසිය පවසයි.

ඩකා නුවර පොලිසිය කියා සිටින්නේ අද ( 31 සෙනසුරාදා) දිනය තුළ බ්ලොග් මාධ්‍යකරුවන්ට එල්ල කෙරුණු දෙවන ප්‍රහාරය මෙය බවයි.

මින් පෙර ඝාතනය කෙරුණු බංග්ලාදේශ බ්ලොග්කරු ඔබිජිත් රෝයිගේ සමීප මිතුරෙකු වූ අහමෙදුර් රුශීඩ්ටයි පළමු ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ.

Image copyright AP
Image caption තම පුතුගේ හිස කන්දෙන් වෙන් වී ඔහුගේ සිරුර ලේ විලක් මැද කපා කොටා දමා ඇති අයුරු තමන් දුටු බව පවසන ෆොයෙසල්ගේ පියා

ඔහුගේ කාර්යාලයට කඩා වැදුණු පුද්ගලයෙක් රුශීඩ් සහ ඔහු යටතේ සේවය කරමින් සිටි තවත් බ්ලොග් කරුවන් දෙදෙනෙකුට පිහි ඇනුම් එල්ල කර ඇති බවයි පැවසෙන්නේ.

තුවාල ලැබූ පුද්ගලයන් මේ වන විට රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර එක් අයකු බරපතළ තත්වයේ පසු වන බව පොලිසිය පවසයි.

ලේ විලක්

එම සිදුවීමෙන් පැය කිහිපයකට පසුවයි නගරයේ තවත් පෙදෙසක බ්ලොග් ප්‍රකාශකයකු වන ෆොයෙසල් අර්වින් දිපොන් කපා කොටා මරා දමා තිබෙන්නේ.

Image copyright focus bangla
Image caption පිහි ඇනුම් වලට ලක් වූ අහමෙදුර් රුශීඩ්

'ජග්‍රිතී' පොත් ප්‍රකාශන ආයතනයේ තෙවන මහලේ සිටියදී ෆොයෙසල් අර්වින් ඝාතනය කරනු ලැබ ඇති අතර ඔහුගේ පියා පවසන්නේ තම පුතුගේ හිස සිරුරින් වෙන් කොට ඔහුගේ සිරුර කපා කොටා ලේ විලක් මැද දමා ඇති අයුරු තමන් දුටු බවයි.

ඉස්ලාම් අන්තවාදීන් බවට සැක කරන කණ්ඩායමක් විසින් මෙහි මුලින් කී ඔබිජිත් රෝයි බ්ලොග්කරු කපා කොටා ඝාතනය කරනු ලැබුනේ පසුගිය පෙබරවාරි මාසයේ.

අද ,සෙනසුරාදා ප්‍රහාරයට ලක් වූ දෙදෙනාම ඔබිජිත් රෝයිගේ ලිපි පල කිරීමට කටයුතු කළ බ්ලොග් ප්‍රකාශකයන් වන බවයි වාර්තා වන්නේ.