'වෙනස් විශ්වාස නොඉවසීමේ තත්වය' ෂාරුක්ගේ විවේචනයට

Image caption 'අපේ මස් කන පුරුදු ගැන අපි හැමෝම කෑගහනවා. මිනිස්සුන්ගේ කෑම රුචි අරුචිකම් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?'

ඉන්දියාව තුළ ''වර්ධනය වෙමින් පවතින වෙනස් විශ්වාස සහ මතවාද නොඉවසීමේ තත්වය''බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් විවේචනයට ලක් කරයි.

භාෂණයේ නිදහසට එල්ල වන තර්ජන සහ විරුද්ධ මතවාද නොඉවසීමේ තත්වයට විරෝධය පාමින් තමන්ට ලැබුණු සාහිත්‍ය සම්මාන ආපසු භාර දීමට කටයුතු කිරීමට ගත් ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉන්දියාවේ ප්‍රවීණ ලේඛක ලේඛිකාවන් වෙත තම ගෞරවය පුද කරන බවයි ෂාරුක් ඛාන් කියා සිටියේ.

'අපේ මස් කන පුරුදු ගැන අපි හැමෝම කෑගහනවා. මිනිස්සුන්ගේ කෑම රුචි අරුචිකම් ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද? වෙනස් මතවාද නොඉවසීම මෝඩ වැඩක්' සුපිරි නළු ෂාරුක් ඛාන් ඉන්දීය මාධ්‍යට පවසා තිබේ.

මේ අතර ''වර්ධනය වෙමින් පවතින වෙනස් විශ්වාස සහ මතවාද නොඉවසීමේ තත්වයට'' තිත තබන මෙන් ඉල්ලා ඉන්දීය විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ දිල්ලි නුවර පිහිටි ජනපති මන්දිරය තෙක් පාගමනක නිරත වූහ.

පසුගිය දා සිදු වූ වෛරී ප්‍රහාර සම්බන්ධයෙන් දිගින් දිගටම මුනිවත රකින බවට, හිටපු අගමැති මන්මෝහන් සිං සහ කොංග්‍රස් පක්ෂයේ සභාපති සෝනියා ගාන්ධි ඇතුළු විරෝධතාකරුවෝ එහිදී අගමැති නරේන්ද්‍ර මෝදිට චෝදනා කළහ.

විපක්ෂය එල්ල කරන එම චෝදනා ප්‍රතික්ෂේප කළ ආණ්ඩු බලය හොබවන භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන වෙන්කයියා නයිඩු කියා සිටියේ කොංග්‍රස් පක්ෂය රටේ පවතින සංවර්ධනයට බාධා කරමින් සිටින බවයි.

පසුගියදා මුස්ලිම් ජාතිකයන් දෙදෙනකු පහර දී මරා දැමුණේ ගව ඝාතනය සහ ගව මස් ළඟ තබා ගත් බවට හින්දු දැඩි මතධාරීන් චෝදනා එල්ල කිරීමෙන් අනතුරුවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර