ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පැල්පත් දරුවන්ගේ කඳුළු කතාවක්

ඉන්දියාවේ අවුරුදු එකත් හයත් අතර වයස් සීමාවේ පැල්පත් දරුවන්ගෙන් 62%ක් අඩු බරින් යුක්ත වන අතර 55%ක් නියමිත පරිදි වැඩී නැති බව නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි.

දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වන ‘දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබ’ (CRY) ආයතනය විසින් ඉන්දියාවේ ප්‍රධාන නගර කිහිපයක පැල්පත් දරුවන්ගේ සෞඛ්‍ය තත්වය සහ ජීවන මට්ටම පිළිබඳ පැවැත්වූ සමීක්ෂණයකිනි මේ කරුණු හෙළි වී තිබෙන්නේ.

මෙම සමීක්ෂණයට කල්කටා, චෙන්නායි, දිල්ලි, මුම්බායි සහ බැංගලෝර් යන ප්‍රධාන නගර වල පිහිටි පැල්පත්වල ජීවත් වන වයස අවුරුදු එකේ සිට හය දක්වා වයස් සීමාවේ දරුවන් එක්දහස් දෙසිය හැටක් යොදා ගෙන ඇත.

‘අන්ගන්වාඩි’ සේවා මධ්‍යස්ථාන

1975 සිට ඉන්දියානු රජය ළමා සංවර්ධන සේවා අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන ‘අන්ගන්වාඩි’ සේවා මධ්‍යස්ථාන වෙතින් මෙම පැල්පත් දරුවන් රැක බලා ගැනීම සඳහා විශාල සහයක් ලැබෙන නමුත් මේ දරුවන්ට ලබා දෙන ආහාර ප්‍රමාණය ඉතාමත් අඩු බවයි පල වී ඇති සමීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ සටහනක් සැකසූ බීබීසි දෙමළ අංශයේ මුරලිදරන් කාසිවිශ්වනාදන් සංදේශය සමග කතාබහකට එක් වෙමින් කියා සිටියේ.

දවල් කාලයේ රැකියා වල නිරත වන පැල්පත් වාසි දෙමව්පියන් සිය කුඩා දරුවන් රැක බලා ගැනීමට භාර කරන්නේ මෙම ‘අන්ගන්වාඩි’ මධ්‍යස්ථාන වලටයි.

මෙලෙස එම මධ්‍යස්ථාන වල උදේ සිට සවස දක්වා සෙවන ලබන පැල්පත් දරුවන්ට ඉතා සුළු ආහාර වේල් දෙකක් පමණක් ලැබෙන බවයි සමීක්ෂණයෙන් හෙළි වී තිබෙන්නේ.

Image copyright Reuters

ඉන්දියාවේ ප්‍රධාන නගර වල මෙලෙස දිනෙන් දින පැල්පත් වැඩි වීමට සහ පහත් ජීවන මට්ටමක් ඇති වීමට හේතු විමසූ සංදේශයට පිළිතුරු දුන් මුරලිදරන් කාසිවිශ්වනාදන් කියා සිටියේ සමීක්ෂණය සිදු කරන ලද KRY ආයතනය විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ වන්නේ ‘අන්ගන්වාඩි’ මධ්‍යස්ථාන වෙනුවෙන් බෙහෙත් වර්ග, විටමින් පෙති, අහාර සහ මුදල් ප්‍රතිපාදන වැඩි කිරීමට කටයුතු කිරීම, එම මධ්‍යස්ථාන වල ක්‍රියාකාරීත්වය අධීක්ෂණය කිරීමට පියවර ගැනීම සහ ප්‍රධාන වශයෙන්ම දරුවන් ගේ ජීවිතයට වයස අවුරුදු එකේ සිට හය දක්වා අවධියේ පෝෂණය කෙතරම් වැදගත් ද යන්න පැල්පත්වාසී දෙමව්පියන් දැනුවත් කිරීම වන බවයි.

KRYනිර්දේශ

පැල්පත් වාසීන් බොහොමයක් ඉන්දියාවේ ගම්බද දිස්ත්‍රික්ක වල සිට නගරයට පැමිණි දුප්පත් ජනතාව වන බවත් ඔවුන්ට තමන්ගේ ගම් වල කිරීමට කිසිම රැකියාවක් නැති හෙයින් මෙලෙස ප්‍රධාන නගර වලට පැමිණෙන බවත් මුරලිදරන් පෙන්වා දෙයි.

Image copyright Raghu Rai

වැඩිදුර අදහස් දැක්වූ ඔහු කියා සිටියේ මෙලෙස පැමිණෙන ජනතාවට වාසස්ථාන නොමැති බැවින් ඔවුන් වෙරළ ආසන්නයේ හෝ ගංගා ඉවුරක පැල්පත් ඇති පෙදෙසක මඩුවක් ඉදි කර ජීවත් වීමට පටන් ගන්නා බවයි.

ඉතා සුළු රැකියා වල නිරත වන මෙම පැල්පත්වාසී දෙමව්පියන්ට තමන්ගේ දරුවන් හරිහැටි රැක බලා ගැනීමට හැකියාවක් නොමැති බවයි මුරලිදරන් කාසිවිශ්වනාදන් පෙන්වා දෙන්නේ.

මෙම සමීක්ෂණ වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ ඉන්දීය රජය විසින් පිළිගෙන ඇත්දැයි සංදේශය යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මුරලිදරන් කියා සිටියේ KRY ආයතනය තවත් සංවිධාන සමග මේ ගැන කටයුතු කොට පසුව ප්‍රාන්තයට බලපාන ආකාරයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ප්‍රාන්ත ආණ්ඩු වලට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ඇති බව සිය විශ්වාසය වන බවයි.