බහුතර බලයක් ලැබෙනවා - අවුන් සාන් සූචී

Image copyright Reuters
Image caption මෙතෙක් ප්‍රතිඵල නිකුත් වී ඇති ආසන 88 න් ආසන 78 ක් ජයග්‍රහණය කිරීමට අවුන් සාන් සූචී නායකත්වය ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය සමත් වී තිබේ

ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය පාර්ලිමේන්තුවේ හතරෙන් තුනක බලය හිමි කර ගෙන ඇතැයි විශ්වාස කරන බව මියන්මාරයේ විපක්ෂ නායිකා අවුන් සාන් සූචී බීබීසීයට පවසයි.

ඉරිදා පැවති මැතිවරණයේ සමස්ත ප්‍රතිඵල මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් වී නොමැත.

මෙතෙක් ප්‍රතිඵල නිකුත් වී ඇති ආසන 88 න් ආසන 78 ක් ජයග්‍රහණය කිරීමට අවුන් සාන් සූචී නායකත්වය ලබා දෙන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය සමත් වී තිබේ.

හමුදා පාලනය විසින් මැතිවරණ ප්‍රතිඵලය පිළිගනු ඇතැයි තමා විශ්වාස කරන බවයි විපක්ෂ නායිකාව කියා සිටියේ.

Image copyright AFP
Image caption විපක්ෂ නායිකා අවුන් සාන් සූචීගේ පක්ෂ ආධාරකරුවන්

වසර විසිපහකට පසු මියන්මාරයේ පැවැත්වුණු වඩාත්ම සාධාරණ මැතිවරණය මෙය බවයි විචාරකයන් පවසන්නේ.

තමා මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙස කටයුතු කරනු ඇති බව අවුන් සාන් සූචී විසින් පැහැදිලි ලෙස දක්වා තිබේ.

රටේ ව්‍යවස්ථාවට අනුව ඇයට ජනාධිපති පදවියට පත් විය නොහැකියි.

තම පවුලේ සාමාජිකයෙකු හෝ වෙනත් රටක පුරවැසි භාවය ලබා ඇත්නම් ඔහු හෝ ඇය මියන්මාරයේ ජනාධිපති පදවියට පත් කිරීම ව්‍යවස්ථාවෙන් තහනම් කර තිබේ.

විපක්ෂ නායිකා අවුන් සාන් සූචීගේ සැමියා සහ පුතුන් බ්‍රිතාන්‍ය පුරවැසියෝ වෙති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර