'නව ආණ්ඩුවට සහයෝගය දෙනවා' මියන්මාර හමුදාපති

Image copyright AFP Getty

පසුගිය ඉරිදා පැවති මහා මැතිවරණයෙන් පත් වන නව ආණ්ඩුවට සහයෝගය දක්වන බව මියන්මාරයේ හමුදා ප්‍රධානී මින් අවුං ලයින්ග් ප්‍රකාශ කරයි.

දැනට නිකුත් වී ඇති ප්‍රථිපල වලට අනුව අවුං සාන් සූචි ගේ නායකත්වයෙන් තරග වැදුණු ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය බහුතර ආසන සංඛ්‍යාවක් ලබා ගනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

Image copyright Reuters

මියන්මාරයේ හමුදා ප්‍රධානී මින් අවුං ලයින්ග් නව ආණ්ඩුවට සහය දක්වන බව ප්‍රකාශයට පත් කොට තිබෙන්නේ ඔහුගේ ෆේස්බුක් ගිණුම හරහා පණිවුඩයක් නිකුත් කිරීමෙනි.

ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමා මැතිවරණය පැවති ආකාරය ගැන සතුට පල කරමින් ආණ්ඩුවට සුබපැතුම් පණිවුඩයක් ඒවා ඇති බවයි මියන්මාර ප්‍රවෘත්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

Image copyright EPA

මීට අමතරව විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් පවසන්නේ පැවැත්වුණු මියන්මාර මහ මැතිවරණය සහ ඡන්ද ගණන් කිරීම අනුමත කළ හැකි ආකාරයෙන් සිදු කෙරෙන බවයි.

මේ වන විට පාර්ලිමේන්තුවේ ආසන භාගයකට වැඩි ප්‍රමාණයක් 80% ත් 90% ත් අතර ප්‍රතිශතයකින් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය විසින් දිනා ගෙන තිබේ.

කෙසේ වෙතත් මියන්මාරයේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව හමුදා පාලනයට පාර්ලිමේන්තුවේ සියයට විසිපහක බලය මැතිවරණයකින් තොරවම හිමි වන බැවින් අවුං සාන් සූචිට ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුවේ ආසන තුනෙන් දෙකක් දිනා ගැනීමට සිදු වේ.