පිරමීඩය තවමත් අභිරහසක්ද?

Image copyright GETTY

“අවසානයේ මට පුළුවන් වුනා හොයා ගන්න නිම්නයේ සැඟවිලා තියෙන ඒ ආශ්චර්යවත් සොහොන්ගෙය, තවමත් එය විවෘත නොකර ඔබගේ පැමිණීම සැමරීමට මම මග බලන් ඉන්නවා.” හාවඩ් කාටර් විසින් සිය සඟයා වන ජෝර්ජ් හර්බර්ට් තම ගවේෂණයට එකතු කර ගැනීමට ආරාධනා කරමින් හදිසියේ ලියන ලද කටු සටහනයි ඒ.

ඊජිප්තුවේ පිරමීඩ සම්බන්ධයෙන් විශේෂඥ දැනුමකින් යුතු ඉංග්‍රීසි ජාතික පුරා විද්‍යාඥයකු වූ හාවඩ් කාටර් එම කටු සටහන ලියන ලද්දේ 1922 ඔහු විසින් ප්‍රථම වතාවට ඊජිප්තු පාරාවෝ රජු ටුටැන්කාමන් ගේ විවෘත නොකරන ලද සොහොන්ගෙය සොයා ගැනීමෙන් පසුවයි.

ටුටැන්කාමන් රජුගේ මෙම නිධන්ගත සොහොන් ගෙය සොයා ගැනීම පිරමීඩ ගවේෂණය පිළිබඳ ඉතා තියුණු උනන්දුවක් සහ උද්යෝගයක් ඇති කිරීමට සමත් විය.

ටුටැන්කාමන් පාරාවෝ රජුගේ සිරුර එම සොහොන්ගෙය තුල තැන්පත් කර නොමැති බව පසුකාලීන ව සොයා ගැනුනත් සෙසු පාරාවෝ වරුන්ගේ මෙතෙක් සොයා නොගත් සොහොන් කුටි කොපමණ සංඛ්‍යාවක් මෙම පෞරාණික පිරමීඩ තුල සැඟවී ඇත්දැයි ජනයා තුල නොසිඳෙන කුතුහලයක් ඇති කිරීමට මෙම සොයා ගැනීම ඉවහල් විය.

Image caption නවීන තාක්ෂනය උපයෝගී කරගනිමින් පිරමීඩ අභ්‍යන්තරයේ ගනු ලැබූ ස්කෑන් ඡායාරූපයක්

කාන්තාරය මැද සියවස් ගණනක් පිරමීඩ නොසැලී පැවතෙන බව හැරෙන්නට පිරමීඩ අභ්‍යන්තරයේ කෙතරම් රහස්, නිධාන හෝ මමී සිරුරු සැඟවී තිබේ දැයි අප නිසැක වශයෙන් නොදනිමු.

පිරමීඩ අභ්‍යන්තරය ගවේෂණය කිරීමට අපි අසමත් ඇයි?

මෑතකදී ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති අපේක්ෂක බෙන් කාර්සන් සිය කල්පිතය ඉදිරිපත් කරමින් කියා සිටියේ පිරමීඩ මූලික වශයෙන්ම ධාන්‍යාගාර ලෙස භාවිතා කිරීමට ගොඩනගන ලද බවයි.

ජනාධිපති අපේක්ෂක බෙන් කාර්සන්ගේ මෙම ප්‍රකාශය ඇමරිකානු ජනමාධ්‍ය සන්ත්‍රාසයට පත් කිරීමට සමත් විය.

කෙසේ වෙතත් මේ දක්වා මෙවැනි දඩබ්බර කල්පිත ඉදිරිපත් වීමට ඉඩ සලසමින් පිරමීඩ අභ්‍යන්තරයේ සත්‍ය වශයෙන්ම ඇත්තේ මොනවාදැයි ගවේෂණය කිරීමට අපි අසමත් වී ඇත්තේ ඇයි?

පළමු කොටම පිරමීඩ ඉතා විශිෂ්ට පුරා විද්‍යාත්මක වටිනාකමකින් යුතු නිර්මාණ වීම තුල අභ්‍යන්තරය පිරික්සීම මගින් සිදු විය හැකි හානි පිළිබඳ දැඩි අවදානමක් පවතියි.

Image copyright Other

අනෙක් අතට පිරමීඩ ඇතුළත තිබෙන රහස් කාමර සහ උමං මාවත් වලට බලය යොදා ඇතුළු වීමට උත්සාහ කිරීමේදී ඒ එක් එක් පිරමීඩ වලට ආවේණික වූ හයිරෝරේඛණ අභ්‍යන්තර ආකෘතියට හානි සිදු විය හැකි අතරම පුරා විද්‍යාත්මක කතිකාව තුල එවැනි ක්‍රියා නුසුදුසු සහ වගකීම් රහිත බවට විවේචනයට ලක් වීමට ඉඩක් ඇත.

‘අප තේරුම් ගැනීමට උත්සාහ කරන ඒ ඉපැරණි ඓතිහාසික උරුමයන්ට හානි නොකරමු’ යන මතයේ සිට ක්‍රියාත්මක වන නවීන පුරා විද්‍යාත්මක ගවේෂණය පිරමීඩ නිර්මාණ කඩා බිඳ දමමින් එහි අභ්‍යන්තරය පරීක්ෂා කිරීම වළක්වන තවත් මූලික හේතුවකි.

ත්‍රිමාණ ඡායාරූපකරණ සංරක්ෂණය

උදාහරණයක් ලෙස පෞරාණික උරුමයන් සංරක්ෂණය කිරීමේ ලාබ නොලබන සංවිධානයක් වන CyArk මෑත කාලීන ව ලෝකයේ පෞරාණික උරුමයන් පන්සීයක් පමණ ඩිජිටල් තාක්ෂණය සහ හානි රහිත ලේසර් කිරණ භාවිතා කරමින් සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.

පෞරාණික නිර්මාණ සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ගොඩනැගිලි කිසිදු හානියකින් හෝ ශාරීරික මැදිහත් වීමකින් තොරව ත්‍රිමාණ ඡායාරූපකරණයට (3D images) ලක් කිරීමට එම සංවිධානය විසින් භාවිතා කරන නවීන තාක්ෂණයට හැකියාව පවතියි.

එලෙස ලබා ගැනෙන ත්‍රිමාණ ආකෘති එම පෞරාණික වස්තු පිළිබඳ වැඩිදුර අධ්‍යනය කිරීමටත් ඉදිරි පරපුර වෙනුවෙන් සංරක්ෂණය කිරීමටත් CyArk සංවිධානය කටයුතු කරයි.

Image copyright
Image caption පිරමීඩය තැනීමට යොදා ගෙන ඇති ගල් කුට්ටි වල උෂ්ණත්ව වෙනස පෙන්නුම් කෙරෙන තාප ලේඛන ඡායාරූප

ඊජිප්තුවේ ඉපැරණි ධාන්‍යාගාර ගවේෂණයට ලක්ව ඇති අතර පිරමීඩ කිසි සේත්ම ධාන්‍යාගාර වෙනුවෙන් නිර්මාණය කෙරුණු ගොඩනැගිලි විය නොහැකි බවයි ‘යුනිවර්සිටි කොලේජ් ලන්ඩන්’ විශ්වවිද්‍යාලයේ ඊජිප්තු පුරා විද්‍යා කෞතුකාගාරයේ (University College London’s Petrie Museum) පුරා විද්‍යාඥ ඇලිස් ස්ටීවන්සන් පවසන්නේ.

රොබෝ කැමරා සොයා ගැනීම්

කෙසේ වෙතත් ලෝකයේ විශාලතම පිරමීඩය වශයෙන් හඳුන්වන ඊජිප්තුවේ ‘ගීසා පිරමීඩය’ අභ්‍යන්තරය සම්බන්ධයෙන් අප දන්නේ ඉතා අල්ප වශයෙනි.

විශාල ගල් කුට්ටි මිලියන දෙකකට වැඩි ප්‍රමාණයක් යොදා ගෙන මීට වසර තුන් දහසකට පමණ පෙර ගොඩනගන ලද මේ ලෝක උරුමය උසින් අඩි හාරසිය පනහකින් යුතු වෙයි.

මේ වන තෙක් ගවේෂණයට බඳුන් කර ඇති රජුගේ සහ රැජිනගේ කුටී සහ එක් විශිෂ්ට ගැලරියක් හැරුනු කොට ‘ගීසා පිරමීඩයේ’ අභ්‍යන්තරය ලොවටම තවමත් අභිරහසක්ව පවතියි.

මෑතක දී පුරා විද්‍යාඥයන් කණ්ඩායමක් තාප ලේඛන යොදා ගනිමින් ‘ගීසා පිරමීඩය’ සම්බන්ධයෙන් ගවේෂණයක් සිදු කළ අතර එයින් හෙළි වූයේ පිරමීඩය තැනීමට යොදා ගෙන ඇති ගල් කුට්ටි එකිනෙකට වෙනස් උෂ්ණත්වයක් සටහන් කරන බවයි.

ඉහත සොයා ගැනීමත් සමග පිරමීඩ පිළිබඳ කුතුහලයක් දක්වන්නන්ට ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු සපයනවා වෙනුවට තව තවත් ප්‍රශ්න එක් කෙරුණි.

රතු හයිරෝරේඛණ

විද්‍යාඥයින් කණ්ඩායම කියා සිටියේ හිරු නැගීම සහ බැසීමට අනුකූලව පිරමීඩය අභ්‍යන්තරයේ වාතය ගමන් කරන කුහර ඇති බවත් ඒ හේතුවෙන් මෙලෙස විවිධ ගල් කුට්ටි වෙනස් උෂ්ණත්වයකින් යුතු වීමට ඉඩකඩ පවතින බවත්ය.

Image copyright AFP
Image caption ‘ගීසා පිරමීඩයේ’ ගවේෂණ

ඊට අමතරව 2002 වර්ෂයේදී ගීසා පිරමීඩයේ රැජිනගේ කුටියේ දොරක ගල් කුට්ටියක කුහරයක් විදීමෙන් සැකසූ ප්‍රවේශයකින් රොබෝ කැමරාවක් ඇතුළු කර උමං මාර්ගයක් සහ තවත් කුටියක ඡායාරූප ගැනීමට පුරා විද්‍යාත්මක කණ්ඩායමක් සමත් විය.

කෙසේ වෙතත් එලෙස ගනු ලැබූ ඡායාරූප වලින් වැඩි යමක් අනාවරණය කර ගැනීමට නොහැකි වූ බවයි එම විද්‍යාඥ කණ්ඩායම පසුව ප්‍රකාශ කළේ.

2011 වසරේ දී පෙර ගවේෂණ වලට භාවිතා කළ රොබෝ කැමරා වලට වඩා දියුණු සහ නම්‍යශීලී උපාංගයක් යොදා ගනිමින් සහස්‍රක කිහිපයක් මිනිස් ඇසකට හසු නොවූ රතු හයිරෝරේඛණ ඡායාරූපකරණයට ලක් කිරීමට සමත් විය.

පුරා විද්‍යාඥයන් පමණක් නොව ලෝකයේ බොහෝ දෙනාගේ කුතුහලය තවමත් දිනෙන් දින වැඩි වීමට හේතු සපයන පිරමීඩ වල අභ්‍යන්තරය ගවේෂණය කිරීමට උත්සාහ කිරීමෙන් එම නිර්මාණ විනාශ වනු දැකීමට වඩා හැකි පමණ කාලයක් කාන්තාර මාධ්‍යයේ ප්‍රතාපවත් ලෙස නැගී සිටින එම ලෝක උරුමයන් රැක ගැනීම වැදගත් බවයි විද්‍යාඥයන්ගේ අදහස.