පැරිස් ප්‍රහාරකයන්ගෙන් එක් අයකු 'හඳුනා ගැනේ'

Image copyright Getty
Image caption ප්‍රංශයේ පැරිස් අගනුවරට එල්ල වූ ප්‍රහාර මාලාවේ වගකීම තමා භාර ගන්නා බවයි ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය නිවේදනය කළේ

පැරිස් අගනුවර පුද්ගලයන් 129 දෙනකු ඝාතනය කළ මරාගෙන මැරෙන ප්‍රහාරකයන් හත් දෙනාගෙන් එක් අයකු හඳුනා ගෙන ඇති බව ප්‍රංශ පොලිසිය පවසයි.

ඉස්ලාමීය දැඩි මතධාරියකු වශයෙන් මීට ඉහතදී හඳුනා ගෙන ඇති 29 හැවිරිදි ඔමාර් ඉස්මයිල් මොස්ටෙෆායි ඇල්ගේරියානු සම්භවයක් සහිත ප්‍රංශ පුරවැසියෙක්.

මෙම පුද්ගලයා සිරියාවට ගොස් සිටියේ දැයි යන්න තහවුරු කර ගැනීම සඳහා බලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටින බවයි වාර්තා වන්නේ.

අවන්හලක සිටි පුද්ගලයන්ට වෙඩි තැබීම සඳහා පැමිණීමට මොහු විසින් යොදා ගත් කළු පැහැති මෝටර් රථයක් පැරීසියට නුදුරු ප්‍රදේශයක අත්හැර දමා තිබියදී සොයා ගත් බවත් පොලිසිය කියා සිටියේය.

Image copyright EPA
Image caption ප්‍රහාරයෙන් මරුමුවට පත් පුද්ගලයන් වෙනුවෙන් ශෝකය පළ කොට දෙවැනි දිනටත් ප්‍රංශය පුරා අනුස්මරණ පැවැත් වේ

ප්‍රංශයේ පැරිස් අගනුවරට එල්ල වූ ප්‍රහාර මාලාවේ වගකීම තමා භාර ගන්නා බවයි ඉස්ලාමීය රාජ්‍ය සටන් සංවිධානය නිවේදනය කළේ.

මේ අතර සිරියාවේ සහ ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන් ඉලක්ක කොට තවදුරටත් ගුවන් ප්‍රහාර එල්ල කරන බව ප්‍රංශය පැවසුවේය.

සිරියාව සහ ඉරාකය තුළ සිදු කෙරන ප්‍රංශ හමුදා මැදිහත්වීම් වලට පලි ගැනීමක් වශයෙන් පැරිස් ප්‍රහාරය දියත් කළ බවයි IS සංවිධානය කියා සිටියේ.

ප්‍රහාරයෙන් මරුමුවට පත් පුද්ගලයන් වෙනුවෙන් ශෝකය පළ කොට දෙවැනි දිනටත් ප්‍රංශය පුරා අනුස්මරණ පැවැත් වේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස 350 කට ආසන්නයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර