IS විනාශ කර දමනවා -ප්‍රංශ ජනාධිපති

Image copyright EPA

ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය (IS) ‘විනාශ කර දැමීමට’ ප්‍රංශය කැප වී සිටින බව ප්‍රංශ ජනාධිපති ෆ්රන්ශුවා ඔලෝන්ද් පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ප්‍රංශ පාර්ලිමේන්තුව අමතමින්.

මෙම අවස්ථාවට ප්‍රංශ පාර්ලිමේන්තුවේ ඉහල සහ පහල මන්ත්‍රී මණ්ඩල දෙකම එකවර අසුන් ගෙන ඇති අතර එය ඉතා විරල අවස්ථාවකි.

Image copyright Reuters

ප්‍රංශය IS කැරැල්ලට එරෙහිව ඉරාකයේ සහ සිරියාවේ දියත් කර ඇති හමුදා ප්‍රහාරයන් ද දැඩි කිරීමට නියමිතයි.

පසුගිය සිකුරාදා පැරිසියට එල්ල වූ ප්‍රහාරයෙන් පසුව ප්‍රංශය යුද්ධයකට අවතීර්ණ වී ඇති බවයි ප්‍රංශ ජනාධිපති ෆ්රන්ශුවා ඔලෝන්ද් පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේ.

Image copyright Reuters

එකසිය විසි නම දෙනෙකුට මාරු කැඳවූ එම ප්‍රහාරයේ වගකීම IS කැරලිකරුවන් භාර ගෙන තිබේ.

මෙම ඉස්ලාමීය සංවිධානයට එරෙහිව ගන්නා පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට ඉදිරි දිනයක දී ජනාධිපති ඔබාමා සහ ජනාධිපති පුතින් ද හමු වන බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.