ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මා උපන්නේ ගල් පහරින් මරා දමන්නට නොවේ'

පවිත්‍රා පෙරේරා - බීබීසි සිංහල

ගල් ගසා මරා දැමීමට නියම වී සිටින ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වෙනුවෙන් ඉදිරිපත් කළ අභියාචනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිරන්තර අවධානයෙන් සිටින බව සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති අස්මි තාසිම් ප්‍රකාශ කරයි.

සෞදි අරාබියේ ගෘහ සේවිකාවන්ට කෙරෙන ලිංගික අඩන්තේට්ටම්, කායික වැඩ හිංසා සහ මානසික පීඩා වලට නිමාවක් නැති බවට සාක්ෂි එමටයි.

ශ්‍රී ලංකාව පමණක් නොව මිලියනයකට අධික ඉන්දියානු කාන්තාවන් ද සෞදි අරාබියේ සේවයේ යෙදෙන අතර ඉන් දහස් ගණනක් ගෘහ සේවිකාවන් වෙති.

සෞදි අරාබියට ගෘහ සේවිකාවන් සපයන ඒජන්සි මගින් මෙම කාන්තාවන්ට වීසා වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට කැමති සෞදි පවුල් සොයා දෙන අතර ඔවුන් ගේ රෙගුලාසි වලට අනුව සේවිකාවන්ට සිය සේවා දායකයාගේ අනුමැතියකින් තොරව රැකියාව වෙනස් කිරීමට හෝ රටින් පිටවීමේ අයිතියක් නැත.

අහිමි අයිතිවාසිකම්

මෙම කාන්තාවන් සතු සියලු ලියකියවිලි සෞදියට ලඟා වීමෙන් පසු සේවා දායකයන් විසින් ලබා ගැනීමට කටයුතු කරන්නේ ගෘහ සේවිකාවන් සිය නිවාස අඩස්සියට පත් කරමින්.

කස්තුරි මුනිරතන්නම් සෞදියේ ගෘහ සේවයට ගිය ඉන්දීය කතකි.

ඇය නැවතත් සිය රටට පැමිණියේ එක් අතක් අහිමිව ආබාදිත කකුලක් සමගයි.

බීබීසි රාත්‍රී පුවත් සේවයට එකතු වූ කස්තුරි අප හා පැවසුවේ තමන් පැමිණි පළමු දිනයේම තම ස්වාමි දුව සියලු ලියකියවිලි තමන්ගෙන් ලබාගත් අතර පළමු මාසයෙන් පසු තමන්ට කිසිදු පඩි මුදලක් නොගෙවූ බවයි.

“මම ආපු දවසෙම ඇය කිව්වා මම දෙමළ ගැහැණියක් නිසා පාරේ දී මාව පාස් පෝර්ට් එකත් එක්ක අහු වුනොත් ඔවුන් මගේ බෙල්ල කපාවි කියලා. මගේ පාස්පෝර්ට් ඔක්කොම ගත්ත. මට එලියට යන්න දෙන්නේ නැතුව හොඳට ම බය කළා. මුල් දවස් කිහිපයේ හොඳින් කතා කළා. ඊට පස්සේ මට නරක වෙච්ච කෑම තමයි කන්න දුන්නේ. දෙමළ වැඩ කාර ගෑනුන්ට කැමති නැහැ කිව්වා. මම ඇහුව අනේ නෝනා මගෙන් වෙච්ච වැරැද්ද මොකද්ද කියලා? මාව එපානම් මගේ රටට යවන්න කියලා පින්සෙන්ඩු වුනා. ඒත් ඊට පස්සේ දිගටම මට වැඩ දෙන්න පටන් ගත්තා” ඇය සිය අත්දැකීම් අප හා පැවසුවේ කඳුළු පිරි දෙනෙතිනි.

'මගේ අත උරහිස ලඟින්ම කපලා දාලා'

සෞදි අරාබිය ලෝකයේ ගතානුගතික වාදය මුල් බැස ගත් සමාජ වලින් පෙරමුණේ සිටින රටකි.

විශේෂයෙන්ම කාන්තා අයිතීන් ඉතාමත් සීමාසහිත මෙම සමාජයේ මේ වන විට යම් දේශපාලනික හා සමාජීය වෙනසක් ඇති වෙමින් පවතින බවට කතිකාවක් ඇතිව තිබෙන නමුත් පර්දාව පිටුපස සඟවා සිටින සෞදි කාන්තාවන්ට රැකියා කිරීමට සීමා පැනවෙන අතර තවමත් මොටර්රියක් පැදවීමටත් වරම් නැත.

“දවසක් ඇවිත් කිව්වා මාව පොලිසියට ගිහින් බාර දෙනවා හිරේ දාන්න කියල. කරපු වරදක් දන්නේ නැතත් මම දැන ගත්ත ආයේ කවදාවත් එලියට එන්න නොලැබෙයි කියලා. ඒ හින්දා මම අල්ලපු ගෙදරට ගියා, මොකද ඒ ගෙදර ඩ්‍රයිවර්ට දෙමළ කතා කරන්න පුළුවන්. ඒත් ඩ්‍රයිවර් හිටියේ නැහැ. මව ගෙදර අයිතිකාරිට ආයෙත් අහු වුනා. කාමරේ දාල වහුවහම මම සාරි දෙකක් අර ගෙන එකට ගැට ගහලා ජනේලෙන් එලියට දැම්මා මෙතනින් පැනලා යන්න උත්සාහ කරමින්. නමුත් ඔවුන් මාව දැක්කා. ඊට පස්සේ ලොකු සද්දයක් ඇහුනා. මාව බිම වැටුනා. එච්චරයි මට මතක. අයෙත් නැගිට්ටේ ඉස්පිරිතාලේදී. මගේ අත උරහිස ලඟින්ම කපලා දාලා.” කස්තුරි සිය කතාව අප හා පැවසීමට වෙර දැරුවේ සිය වේදනාව මැඩලමිනි.

කස්තුරිව රියාද් නගරයේ රෝහලකට ඇතුලත් කර තිබූ අතර සෞදි පොලිසිය ඔවුන්ගේ වාර්තාවේ සටහන් කර තිබුණේ කස්තුරි මානසික ආතතියෙන් පෙලෙන්නියක් බැවින් පැන යාමට උත්සාහ කරමින් ඇය තමන්ගේ ම අත මෙලෙස කපා ගෙන ඇති බවයි.

ආබාධිත කකුලක් සහ අතක් නැතිව කස්තුරිව නැවත ඉන්දියාවට එවීමට සෞදි රජය කටයුතු කළ අතර ඉන්දීය රජය ඇයගේ සිදුවීම සම්බන්ධයෙන් නැවත පරීක්ෂණයක් පවත්වා වන්දි මුදලක් ලබා දුන් බව ඇය පැවසුවාය.

නමුත් තනිවම සිය වරලවත් ගැට ගසා ගැනීමට බැරි කස්තුරි දැන් මානසිකව සහ කායිකව හිංසනයට පත්වූ අබ්බගාත කාන්තාවක්.

මේ දහස් සංඛ්‍යාත ගෘහ සේවිකාවන්ගේ එක් අනුවේදනීය කතාවක් පමණි.

දීර්ඝ කාලීන විසඳුමක්?

ඉන්දියාව, ශ්‍රී ලංකාව, කෙන්යාව සහ තවත් බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවල දිළිඳු කාන්තාවන් දිනපතා සිය ජීවිත අනතුරේ හෙළමින් මැද පෙරදිග ගෘහ සේවයේ නියැලීමට සිය පවුල සහ රට හැර යන්නේ ඔවුන්ට වෙනත් විකල්පයක් නැති නිසාවෙනි.

ශ්‍රී ලංකාවේ විදේශීය විනිමයෙන් ඉතා ඉහල ප්‍රතිශතයක් රටට ගෙනෙන මේ දුප්පත් කාන්තාවන්ට මැද පෙරදිග දී සිය අයිතිවාසිකම්, ගෞරවය, පමණක් නොව බොහෝ අවස්ථා වලදී සිය ජීවිතය පවා අහිමි වෙයි.

2011 වසරේ දී ඉන්දුනීසියානු රජය විසින් සෞදි අරාබියට ගෘහ සේවිකාවන් සැපයීම සම්පූර්ණයෙන්ම තහනම් කරනු ලැබුවේ මැද පෙරදිග දී කාන්තාවන් මුහුණ දෙන කෘර වද බන්ධන වලට එරෙහි වෙමිනි.

කස්තුරි සිය කතාව අවසන් කළේ ඉන්දියානු රජයට සිය රටේ කාන්තාවන් සෞදි අරාබියට ගෘහ සේවයට යැවීම තහනම් කරන්නැයි අවසන් වශයෙන් ඉල්ලීමක් එක් කරමින්.

කෙසේ වෙතත් සිය රටවල් වල කාන්තාවන් මෙවන් අත්දැකීම් වලට නිරන්තරයෙන් මුහුණ දෙන බැව් දැන දැන ඒ වෙනුවෙන් දීර්ඝ කාලීන විසඳුමක් ලබා දීමට ඉදිරිපත් නොවන බලධාරීන්ගේ අවධානය මේ ප්‍රශ්නය දෙසට යොමු කිරීමට තවත් අසරණ කතුන් කොපමණ මේ දුක් ගැහැට විඳිය යුතුද යන්න මෙම කාන්තාවන් සිය රජයෙන් අසන ප්‍රශ්නයයි.