ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මියන්මාරයේ නාය යෑමකින් අනූවක් මරුට

පතල් කර්මාන්තය සිදු කෙරෙන මියන්මාරයේ පිටිසර ප්‍රදේශයක සිදු වූ විශාල නාය යෑමකින් මරුමුවට පත් පුද්ගලයන් 90 දෙනකුගේ මෘත ශරීර සොයා ගෙන තිබේ.

තවත් පිරිසක් අතුරුදහන් වී ඇති අතර සහන සේවකයෝ එම පිරිස් සොයමින් සිටිති.

මියන්මාර පතල් කර්මාන්ත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ව්‍යසනයන්ගෙන් එකක් ලෙස මෙම අනතුර හැඳින්විය හැකි අතර මරුමුවට පත් පිරිස ඉහල යා හැකි බවයි එහි සිටින බීබීසී වාර්තාකරු පවසන්නේ.

ඊයේ සෙනසුරාදා මෙම අනතුර සිදු වූයේ කචින් ප්‍රාන්තයේ පිහිටි ජේඩ් පාෂාණ පතලකින් ඉවත් කරන ලද විශාල ප්‍රමාණයේ පස් කන්දක් කඩා වැටීම හේතුවෙන්.

Image caption පතල්වලින් ඉවත් කරන ලද පස් අතර තිබෙන කුඩා ජේඩ් පාෂාණ කැබලි සෙවීම මෙම පුද්ගලයන්ගේ ජීවිකාව වේ

ඉවත් කරන ලද පස් ගොඩ ගැසීමට යොදා ගන්නා ස්ථානය හෝ ඒ අවට වෙසෙන පිරිස් මිය ගිය අය අතර වෙති.

පතල්වලින් ඉවත් කරන ලද පස් අතර තිබෙන කුඩා ජේඩ් පාෂාණ කැබලි සෙවීම මෙම පුද්ගලයන්ගේ ජීවිකාව වේ.

ජේඩ් යනු ආභරණ අලංකරණය සඳහා යොදා ගනු ලබන කොල පැහැති පාෂණ විශේෂයකි.