රුසියාව සහ තුර්කිය වාග් සංග්‍රාමයක

Image copyright AFP
Image caption රුසියානු ජනපතිවරයා මීට ඉහතදී කියා සිටියේ අයි එස් කැරලිකරුවන් වෙතින් ලැබෙන තෙල් සැපයුම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තුර්කිය, රුසියානු ගුවන් යානයට ප්‍රහාර එල්ල කොට බිම හෙලූ බවයි

සිරියානු දේශ සීමා කලාපයේදී තුර්කිය විසින් රුසියානු ප්‍රහාරක යානයක් බිම හෙළීම මුල් කර ගනිමින් දෙරටේ නායකයන් අතර වාග් සංග්‍රාමයක් ඇති වී තිබේ.

සිරියානු ගැටුම, තුර්කිය සහ රුසියාව අතර අර්බුදයකට පෙරලා ගෙන ඇති බවට තුර්කි අගමැති අහ්මට් ඩාවූටොලූ රුසියාවට චෝදනා කරයි.

රුසියානු ජනපතිවරයා මීට ඉහතදී කියා සිටියේ අයි එස් කැරලිකරුවන් වෙතින් ලැබෙන තෙල් සැපයුම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් තුර්කිය, රුසියානු ගුවන් යානයට ප්‍රහාර එල්ල කොට බිම හෙලූ බවයි.

'තුර්කියට තෙල් සපයන එවැනි මාර්ග ආරක්ෂා කර ගැනීම සඳහා අපේ ගුවන් යානයට ප්‍රහාර එල්ල කළ බව විශ්වාස කරන්න අපට හේතු තිබෙනවා' රුසියානු ජනපති ව්ලැද්මීර් පූතින් කියා සිටියේ පැරිසියේ පැවැත්වෙන දේශගුණ විපර්යාස ජගත් සමුළුව අමතමින්.

'පොදු හතුරෙක්'

Image copyright Reuters
Image caption සිරියානු ගැටුම, තුර්කිය සහ රුසියාව අතර අර්බුදයකට පෙරලා ගෙන ඇති බවට තුර්කි අගමැති අහ්මට් ඩාවූටොලූ රුසියාවට චෝදනා කරයි

රුසියානු ජනපතිවරයා එල්ල කරන චෝදනාවට ප්‍රතිචාර දක්වමින් තුර්කි අගමැතිවරයා පවසා සිටියේ පදනම් විරහිත චෝදනා එල්ල කිරීම හරහා තම රටේ ගුවන් කලාපය උල්ලංඝනය කිරීම යටපත් කිරීමට මොස්කව් පාලනයට නොහැකි බවයි.

මේ අතර රුසියානු ගුවන් යානය බිම හෙළීම මුල් කර ගනිමින් තුර්කිය හා රුසියාව අතර ඇති වී තිබෙන උණුසුම් තත්වය සමනය කර ගැනීමට කටයුතු කරන මෙන් ඇමරිකානු ජනපති බරක් ඔබාමා දෙරටේ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

'අපි සියලු දෙනාට පොදු හතුරෙක් සිටිනවා' යනුවෙන් ජනපති ඔබාමා පැවසුවේ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පිළිබඳ සඳහන් කරමින්.