IS විරෝධී බ්‍රිතාන්‍යය ගුවන් බලය වැඩි කරයි

Image copyright bbc

සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම පිණිස තවත් ප්‍රහාරක යානා එක් කරන බව බ්‍රිතාන්‍යය ප්‍රකාශ කරයි.

බ්‍රිතාන්‍යය ප්‍රහාරක යානා සිරියාවේ සිය පළමු ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පැය කිහිපයකට පසු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ එම කලාපයේ යොදවා ඇති ප්‍රහාරක යානා සංඛ්‍යාව දෙගුණයක් කරන බවයි.

සිරියාවේ නැගෙනහිරින් පිහිටි ඕමාර් (Omar) ඛනිජ තෙල් බිම් ඉලක්ක කරමින් බ්‍රිතාන්‍ය ප්‍රහාරක යානා විසින් බෝම්බ ප්‍රහාර එල්ල කෙරිණ.

ඉස්ලාමීය රාජ්‍ය කැරලිකරුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන තෙල් බිම් වලට පහර දීම ඉතා වැදගත් වන බවයි ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ.

දීර්ඝ විවාදයකින් පසු සිරියාවේ ගුවන් ප්‍රහාර එල්ල කිරීම සඳහා ඊයේ රාත්‍රී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ අනුමතිය ලැබිණ.

Image copyright AFP

පාර්ලිමේන්තු විවාදය

සිරියාවේ ‘ඉස්ලාම් රාජ්‍යයට’ බෝම්බ හෙලීම තුළින් බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු වන බව බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

එහෙත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක මෙන්ම බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් අග්‍රාමාත්‍යවරයා ගේ යෝජනාවට දැඩි විරෝධයක් එල්ල කෙරිණ.

අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනා කර ඇති මෙම යුධ ක්‍රියාමාර්ගයට විරුද්ධවන්නන් “ත්‍රස්තවාදීන්ට අනුකම්පාකරන්නන්” ලෙස හැඳින්වීම පිළිබඳව සමාව ගන්නා ලෙස කල ඉල්ලීම් වලට මුහුණ දීමට ද අගමැතිවරයාට සිදුවිය.

විරුද්ධ පක්ෂ නායක කෝබින් විසින් එය හඳුන්වනු ලැබුවේ අග්‍රාමාත්‍ය ධුරය ‘පහත හෙලීමක්’ ලෙසටයි.

එහෙත් සමාව අයැදීම ප්‍රතික්ෂේප කළ අගමැති කැමරන් මෙම යුදමය ක්‍රියාදාමයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිතා කිරීම ගෞරවයක් වන බවයි ප්‍රකාශ කළේ.

අභිමතයට ඉඩ

පැය දහයක කාලයක් පැවැත්වූ මේ විවාදයෙන් පසු ප්‍රංශය, ඇමරිකාව සහ රුසියාව එක්ව ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධකරුවන් ට එරෙහිව බ්‍රිතාන්‍යය ද ගුවන් ප්‍රහාර එල්ල කල යුතුද යන්න පිළිබඳව ඡන්ද විමසීම සිදු කෙරිණ.

මෙම කාරණය පිලිබඳ තම විරෝධය තම පාක්ෂිකයන් මත බලහත්කාරයෙන් පැටවීමට කම්කරු පක්ෂ නායකයා අදහස් නොකරන බවක් පෙනෙන්නට තිබූ අතර ඔහු තම පාක්ෂිකයන්ට පැවසුවේ අභිමතය පරිදි ඡන්දය භාවිතා කරන ලෙසටයි.

Image copyright Reuters
Image caption IS කැරලිකරුවන්

IS නමින් හැඳින්වෙන “මුස්ලිම් ජනතාව මරා දමන, ස්ත්‍රී දුෂක, මධ්‍යධරනී කලාපයේ යක්ෂයන්” පිළිබඳව තම මිත්‍ර පාර්ශවයන් ගේ ඉල්ලීමට කන් දෙන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි අග්‍රාමාත්‍යවරයා “අපව මරාදමන්නට සැලසුම් කරන, අපේ දරුවන් ගේ සිත් දුෂ්‍ය කරන ඉස්ලාම් අන්තවාදීන්" පිළිබඳව අනතුරු ඇඟවීමක්ද කළේය.

“ අපි අපේ මිත්‍ර පාර්ශව එක්ක එකතුවෙල මේ තර්ජනය නැතිකරන්න කටයුතු කරනවද?, අපි මේ ත්‍රස්තවාදීන් ලුහුබැඳගෙන බ්‍රිතාන්‍ය ජාතිකයන් ව මරා දමන්න සැලසුම් හදන ඔවුන්ගේ ප්‍රධාන භුමි වෙත යනවද, නැතිනම් ඔවුන් අපට පහර දෙන තුරු පැත්තකට වෙලා බලා ඉන්නවද?” යනුවෙන් යෝජිත යුද ක්‍රියාමාර්ගයේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය අගමැතිවරයා අවධාරණය කළේය.