ඉබෝලාට බිය නැති දිරිය කත

Image copyright nichole sobecki
Image caption කුකී වෑන් ඩෙර් වෙල්ඩේ

මේ කතාවේ කතා නායිකාව කුකී වෑන් ඩෙර් වෙල්ඩේ. ඇය මේ කතාව කියන විට ලෑස්ති වෙමින් සිටියේ ඊ ළඟ පැය තුන ඇතුළත පිටත් වන ගුවන් යානයකින් යළිත් අප්‍රිකාව බලා පියාසර කිරීමට. එම දීර්ඝ වූත් අන්තරායකාරී වූත් ගමන සඳහා පිටත්ව යාමට පෙර ඇය තමන්ගේ දරු මුණුබුරන්ට කියමින් සිටියේ ‘තමා ඉතා අලංකාර වෙරළක් සහිත හිරු එළියෙන් නැහැවෙන රටක නිවාඩුවක් ගත කිරීමට ’යන බවක්. ඒත් කුඩා දරුවකුට නොව වැඩිහිටියකුට වත් පහදා දීම දුෂ්කර භයානක ගමනක් සඳහායි ඇය පිටත්ව යන්නේ.

කුකී සිය ගමන ගැන ලෝකයට කියන කතාවයි මේ.

‘පහු ගිය සැරේ මම එංගලන්තයට එන්න පෙර දිනයේ ලයිබීරියාවේ ගත කරපු දවස මට අද වගේ මතකයි. ඒ රාත්‍රිය ගෙවී යමින් තිබිය දී මිනිස්සු හතර දෙනෙක් අවසන් හුස්ම හෙලුවා. ඒක හරියට භයානක චිත්‍රපටියකින් උපුටා ගත්ත දර්ශනයක් වගෙයි. එක මනුස්සයෙක් දොර ලඟට බඩ ගාගෙන එන්න උත්සාහ කරමින් හිටයා. මම හිතන්නේ ඔහු උදව් ඉල්ලන්නයි උත්සාහ කෙරුවේ. ඒත් එතැනම ඔහු මියගියේ නිරුවතින්’

කුකී එවැනි වචන මාලාවකින් විස්තර කරන්නේ ඉබෝලා වසංගතයට ගොදුරු වෙන මිනිසුන්ගේ ඉරණම. ඇය සේවය කරන්නේ ලයිබීරියාවේ ‘ඉබෝලා’ වසංගතය මුලින්ම පැතිරෙන්න පටන් ගත්ත ප්‍රදේශයේ. බටහිර අප්‍රිකාවේ දෙදාස් පන්සීයකට අධික පිරිසක් ඉබෝලා වසංගතයෙන් මියගියා. එංගලන්ත සෞඛ්‍යය බලධාරීන් කියා සිටියේ සෑම සතියකම අලුතෙන් වසංගතයට ගොදුරු වන්නන් දහසක් පමණ වාර්තා වන බවක්.

Image copyright MSF

සතියකට රෝගීන් දාහක්

එංගලන්තයේ කෙටි නිවාඩුවකින් පසු කුකී නැවතත් ලයිබීරියාව බලා යාමට සැරසෙමින් සිටියේ සිය ජීවිතයට එල්ල විය හැකි ඉබෝලා තර්ජනය ද නොතකා හරිමින්. ඇය සේවය කරන්නේ ජාත්‍යන්තර දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංවිධානයත් සමඟ. ඉබෝලා වයිරසය පරාජය කිරීමේ අරගලයේ නිරත වෛද්‍යවරුන් සහ සාත්තු සේවිකාවන්ට එකතු වීමටයි ඇය මේ ගමන යන්නේ. කුකීගේ රාජකාරිය ඉබෝලා වසංගතය පැතිරීම වලක්වා ලීමට හවුල් වීම සහ රෝගය ආසාදනය වූවන්ට පිහිට වීම. ඉබෝලා වයිරසයට ගොදුරු වන්නන් නිසි ප්‍රතිකාර නොලදොත් ඔවුන්ගෙන් සීයට අනූවක්ම මරණයට පත් වෙන බවයි වෛද්‍යවරු පවසන්නේ.

‘නන්නාඳුන රටක නොදන්නා පුද්ගලයන් වෙනුවෙන්’ සිය ජීවිතය අනතුරට ලක් කර ගනු ලැබීමට කවුරුන් හෝ කැමති වෙන්නේ කුමක් නිසාද? එය කුකීගේ කතාව අසන කෙනෙකු තුළ මතු විය හැකි පළමු ප්‍රශ්නය විය හැකියි.

කුකී ගේ කතාව තුලින් අපි පිළිතුර සොයා ගනිමු.

‘ලයිබීරියාව කියන්නේ ඉතා උණුසුම් දේශගුණයක් සහිත රටක්. වාතය රත් වෙලා ජල ආර්ද්‍රතාව අධිකයි. රෝගීන්ට උදව් වීමේ දී සාමාන්‍ය ඇඳුමට උඩින් ඇඳුම් දෙකක් අඳින්න වෙනවා, ඊට අමතරව අඩුම වශයෙන් අත්වැසුම් තුනක් පමණ දාගන්න වෙනවා. මුහුණු ආවරණය ,වීදුරු ඇස් ආවරණ දාලා වතුර කාන්දු නොවන රබර් ඇඳුමක් ඊට උඩින් ඇඳලා තමයි ඉබෝලා රෝගීන් ඉන්න අධි අනතුරුදායක කලාපයේ තියෙන වාට්ටු වල වැඩ කරන්නේ’

කුකී සිය අත්දැකීම් නොපැකිලව දිගටම විස්තර කරන්නීය.

Image copyright b

‘රස්නේ නිසා හුස්ම ගන්න අමාරුයි. ඩහදිය වැක්කෙරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආරක්‍ෂිත ඇඳුම ඇඳලා අපට වැඩ කරන්න පුළුවන් ඉතා කෙටි වෙලාවක් පමණයි. මොකද? ක්ලාන්ත වෙලා වැටුනොත් අනිත් සෞඛ්‍යය සේවකයන්ගේ ආරක්ෂාවත් අනතුරේ වැටෙනවා. උදව්වට එන ඕනෑම කෙනෙකුට වයිරසය වැළඳීමේ අවදානම තියෙනවා’

‘වැඩ ඉවර වෙලා ආරක්‍ෂිත ඇඳුම ගැලෙව්වාම දැනෙන්නේ කවුරු හරි ඔලුවට වතුර බාල්දියක් හැලුව වගෙයි. දාඩියෙන් නෑවිලා. ගොඩක් වෙලාවට ඒ විශේෂ ඇඳුම ඇඳලා අනතුරු කලාපයට ඇතුල් වෙන්න ඉස්සෙල්ල එළියේ ඉන්න අය අප වෙනුවෙන් යාඥා කරනවා, ආගම කියනවා, ලෙඩ වෙලා ඉන්න කෙනෙක් ලඟට යන්න හෝ ඔවුන් අල්ලලා උදව් කරන්න ලැබෙන්නේ ආරක්ෂක ඇඳුම දා ගත්තයින් පස්සේ විතරයි’ කුකී ගේ වයස අවුරුදු පනස් හතරයි. ලයිබීරියාවේ සෞඛ්‍යය සේවිකාවක් ලෙස කටයුතු කිරීමට එංගලන්තයෙන් පිටත්ව කිලෝ මීටර 8000ක් පමණ දුරක් ගෙවා ඉබෝලා වසංගතය පැතිරුණු බටහිර අප්‍රිකාවට සිය කැමැත්තෙන්ම සේවය කිරීමට පැමිණි ඇයගේ අත්දැකීම් භීතිය දනවන සුළුයි.

රෝගීන් අතර

‘මම උත්සාහ කරනවා ඉබෝලා රෝගීන් රඳවා සිටින කලාපයේ වාට්ටු වලට ගියාම රෝගීන්ට වතුර ටිකක් දෙන්න, අඩුම තරමේ ඔවුන් එක්ක වචනයක් කතා කරලා අත්වැසුම් දාපු අත් වලින් හරි ඔවුන්ගේ අත් අල්ල ගන්න. මොකද? සෙසු ලෝකයෙන් හුදෙකලාව සිටින මේ රෝගීන් මරණාසන්න තත්වයේ හිටියත් ඔවුන් බලන්න කවුරුවත් නැහැ. ඔවුන් ඉන්නේ වේදනාවෙන් තනි වෙලා’ තනිය මැකීම නොවෙයි, කුකී ගේ දෑතින් සිදු කෙරෙන්නේ ඊටත් එහා ගිය උවැටනක්.

‘මට සිදු වෙනවා රෝගීන්ගෙන් වැගිරෙන ලේ, වමනේ විතරක් නෙවෙයි අසුචි පවා ඉවත් කරලා සුද්ද කරන්න. ඔවුන් සෝදන්න. පිරිසිදු කරන්න. සමහර වෙලාවට මම රෝගී දරුවන්ට සෙල්ලම් බඩුවක් හෝ දෙකක් වාට්ටුවට ගෙනත් දෙන්න උත්සාහ කරනවා. ඉතාමත් අසීරු, ඒ වගේම අනතුරු දායක සහ කණගාටුදායක කටයුත්ත තමයි මියගිය රෝගීන්ගේ සිරුරු ඉවත් කරන එක’ එහෙත් කුකී එම කිසිම කාර්යයක් පැහැරනොහරින අපූරු සෞඛ්‍යය සේවිකාවක්.

මළවුන් වෙනුවෙන්

‘අපි වයිරසයෙන් මියගිය රෝගීන්ගේ සිරුරු බෑග් ඇතුළට දාලා සීල් කරනවා. මළ සිරුරුවලින් වැගිරුණ ඕජස්වලින් තෙමුණ පොළොව පිරිසිදු කරනවා. මළසිරුරු දමපු කවර වල පිට පැත්තේ ඔවුන්ගේ රෝගියාගේ නම ලියලා ඒවා මෘත ශරීරාගාරයේ තැන්පත් කරනවා. නෑදෑයන්ට අවශ්‍ය නම් සිරුර හඳුනා ගන්න අපි ඔවුන් ඈතක තියල ආරක්ෂිත කාමරයක තියෙන මළසිරුර බලන්න ඉඩ දෙනවා. ඒක හරිම දුක්ඛදායී අත්දැකීමක්. මොකද ඔවුන්ට තමන්ගේ ඥාතීන්ගේ සිරුරු ලඟට එන්නවත් අල්ලන්නවත් අවසර නැහැ’

Image copyright b

වසංගතය පැතිරීමේ වේගය අනුව මිය යන රෝගීන්ගේ සිරුරු තැබීමට ප්‍රමාණවත් ඉඩකඩ නොමැති වෙන බවත් කුකී පවසන්නීය.

‘රෝහලේ ඉඩ මදි වුන අවස්ථාවේ අපිට සිදු වුනා කොරිඩෝවල බිම, එළියේ හැම තැනම රෝගීන්ව තියා ගන්න. පාරවල් වල ගෙවල් ඇතුලේ මියගිය සිරුරුත් එකතු වුනාම සමහර වෙලාවට මෘත ශරීරාගාරයේ සිරුරු ගොඩ ගැහෙනවා. ඉතා උණුසුම් කාලගුණයක් යටතේ ඒ විධියට මළ සිරුරු ගොඩ ගැහිලා ඒවා නරක වෙන්න ගත්තම ඇති වෙන තත්වය මම විස්තර කළ යුතු නැහැ. ඉතින් හැම තිස්සෙම ඇඟට අසනීප ගතියකුයි දැනෙන්නේ. දුගඳ ඉවසන්න බෑ.ඊටත් වැඩිය වේදනා සහගත දේ තමයි, දිනපතා අපෙන් සාත්තු ලබපු කුඩා දරුවන් සහ වෙනත් රෝගීන් මිය යන අන්දම බලා ගෙන ඉන්න සිද්ධ වීම’

ජීවිත අවදානම

දේශ සීමා නොමැති වෛද්‍යවරුන්ගේ සංගමය නිරන්තරයෙන් ලෝකයේ ඉතා ප්‍රචණ්ඩකාරී යුද පෙරමුණු සහ අර්බුදකාරී පරිසරයක් සහිත කලාපයන්හි ක්‍රියාත්මක වෙන සංවිධානයකි.

එම සංවිධානයේ වෛද්‍යවරුන් සහ සාත්තු සේවක සේවිකාවන් සන්නද්ධ කණ්ඩායම් අතර හෝ සන්නද්ධ කණ්ඩායම් සහ යුද හමුදා අතර හුවමාරු වන ප්‍රහාර වලින් මිය යාම, පැහැර ගැනීම් වලට ලක් වීම සහ අනෙකුත් අනතුරු වලට ගොදුරු වීමේ අවදානම ‘දාහකට එකක්’ විය හැකි නමුත් ‘ඉබෝලා’ අනතුරු කලාපයක කටයුතු කිරීමේ දී මිය යාමට ඇති ඉඩකඩ ‘දහයට එකක්’ තරම් බැරෑරුම් ජීවිත අවදානමක් වන බවයි කුකී පෙන්වා දෙන්නේ

Image copyright b

අවදානම එතරම් බරපතළ නමුත් ‘ඉබෝලා’වැනි දරුණු මාරාන්තික වයිරසයක් ලොව පුරා පැතිර යාම වළක්වා ලීම සඳහා ක්‍රියාත්මක වෙන කණ්ඩායමක සාමාජිකාවක් වීමට ලැබීම සහ තමන්ට හැකි මට්ටමින් එම සත් කාර්යයට දායක වෙමින් දිවි පරදුවට තබා සිදු කළ මානව මෙහෙය ගැන සතුටු වන බවයි කුකී වෑන් ඩෙර් වෙල්ඩේ අප්‍රිකාවේ ඉබෝලා රෝගීන්ට පිළිසරණ වීම සඳහා ඇයයන ඊ ලඟ ගමනට සැරසෙමින් බීබීසියට කියා සිටියේ.