ට්‍රම්ප් ට බ්‍රිතාන්‍යය ජනතා විරෝධය

Image caption බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ මන්ත්‍රිනී ටියුලිප් සිද්දික් පවසන්නේ ට්‍රම්ප් ට බ්‍රිතාන්‍යයට පැමිණීමට අවසර නොදිය යුතු බවයි

ඇමෙරිකානු රිපබ්ලිකන් පක්ෂයේ ජනපති අපේක්ෂක පදවිය අපේක්ෂාවෙන් සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් ට රටට ඇතුළුවීමට අවසර නොදෙන මෙන් ඉල්ලා සිටින පෙත්සමකට බ්‍රිතාන්‍යයේ එක්ලක්ෂ පනස් දහසකට වැඩි පිරිසක් අත්සන තබා තැබුහ.

ඒ අනුව එම ඉල්ලීම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මුස්ලිම් ජාතිකයන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කළ යුතු බවට ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශය සම්බන්ධව ලොවපුරා බොහෝ දේශපාලනඥයන් ඇතුළු විවිධ පුද්ගලයන් සහ කණ්ඩායම් අතර දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.

ඇමරිකානුවන්ගේ ආරක්ෂාව

මුස්ලිම්වරුන් ගෙන් වැඩි පිරිසක් ඇමරිකාව කෙරෙහි වෛරී ආකල්පයක් දරන බැවින් ඇමරිකානුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මුස්ලිම් ජාතිකයන්ට එක්සත් ජනපදයට ඇතුළු වීම තහනම් කළ යුතු බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඩොනල්ඩ් මේ ප්‍රකාශය සිදුකල වහාම එයට ප්‍රතිචාර දක්වමින් ධවල මන්දිරය නිවේදනය කළේ එම ප්‍රකාශය ඇමරිකානු ජනතාවගේ සිතුම් පැතුම් වලට මුළුමනින්ම ප්‍රතිවිරෝධී අදහසක් බව පෙන්වාදෙමින්.

ඒ සමගම පෙන්ටගනය අවධාරණය කර ඇත්තේ මෙවැනි මුස්ලිම් විරෝධී ප්‍රකාශ හේතුවෙන් ඉස්ලාම් රාජ්‍ය සන්නද්ධ කණ්ඩායම්වල අපේක්ෂාවන් වලට සුභවාදී ඔසවා තැබීමක් ලැබෙන බවයි.

Image copyright Getty
Image caption ඇතැම් විචාරකයන් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රුම්ප් තම මැතිවරණ ව්‍යාපාරය තුල තෝරාගෙන ඇත්තේ අති දක්ෂිණාංශික, සුළුජාතික සංක්‍රමණිකයන්ට එරෙහි මාවතක් බවයි.

'පක්ෂයේ අදහස් නොවෙයි'

මේ සිදුවීමේ දී වඩාත් ම අවධානයට ලක් වූ කාරණය වූයේ ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන් පාක්ෂිකයන් අතරින්ම ඩොනල්ඩ් ගේ ප්‍රකාශයට දැඩි විරෝධයක් එල්ල වීමයි.

“ඊයේ ප්‍රකාශ වුණා අදහස් වෙනුවෙන් නොවෙයි අපේ පක්ෂය පෙනී සිටින්නෙ. වැදගත්ම දේ තමයි මේ රට බලාපොරොත්තු වෙන්නෙත් එය නොවෙයි” යනුවෙනුයි රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රකාශකයා ලෙස කටයුතු කරන පෝල් රයන් ඩොනල්ඩ් ගේ ප්‍රකාශය පිලිබඳ අදහස් දක්වමින් ප්‍රකාශ කළේ.

බ්‍රිතාන්‍ය දේශපාලනය තුළ කැපී පෙනෙන උග්‍ර දක්ෂිනන්ශිකයෙකු වන නයිජල් ෆෙරාජ් වැන්නවුන් පවා පවසා තිබුණේ ඩොනල්ඩ් සීමාවන් ඉක්මවා ගොස් ඇති බවයි.

'ජනාධිපති දන්නෙ නැහැ'

කෙසේවුවද ABC රුපවාහිනියේ බාර්බරා වෝල්ටර්ස් සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ගේ ප්‍රකාශය සාධාරණීකරණය කළේය.

මතුවී ඇති විරෝධතාවන් වලින් කිසිදු සැලීමකට ලක්වූ නොවූ බවක් පෙන්වමින්.

“මම මිනිස්සුන්ට ගරු කරන සහ ආදරය කරන කෙනෙක්. මුස්ලිම් ජනතාව සමග මගේ ඉතාම හොඳ සම්බන්ධයක් තියනව. ඒ මුස්ලිම් ජනතාවත් මාත් සමග සියයට සීයක් ම එකඟ වෙනව. කෙටි කාලයක් තුළ අපේ රට එක්ව කටයුතු කල යුතුයි. ඔවුන් අපේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය විනාශ කර දැමුවා. ඔවුන් සතුව ඇත්තේ ඉතාමත්ම නරක ආකල්පයක්. ඔවුන් පිළිබඳව අපි ඉතා රළු වගේම උපාය ශීලී වියයුතුයි. අපි දන්නේ නැහැ මොකක්ද ඊළඟට වෙන්නේ කියල. අපේ ජනාධිපති කිසිම දෙයක් දන්නේ නැහැ මේ අනතුර ගැන” යනුවෙනුයි ඔහු ප්‍රකාශ කළේ.

Image copyright Reuters
Image caption ඩොනල්ඩ් ගේ මේ ප්‍රකාශය ඇමරිකානුවන් පිලිබඳ ලෝකයා තුල මැවී තිබුණු ප්‍රති රුපය විනාශ කිරීමට හේතුවක් වූ බවයි ඇතැම් අය ගේ අදහස වන්නේ

සංක්‍රමණිකයන්ට එරෙහි මාවතක්

ඇතැම් විචාරකයන් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රුම්ප් තම මැතිවරණ ව්‍යාපාරය තුල තෝරාගෙන ඇත්තේ අති දක්ෂිණාංශික, සුළුජාතික සංක්‍රමණිකයන්ට එරෙහි මාවතක් බවයි.

එසේ වුවත් ඩොනල්ඩ් ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ මුස්ලිම් ජාතිකයන් ට එරෙහිව ඔහු විසින් කළ සෑම ප්‍රකාශයක් ම අති විශාල ඔල්වරසන් හඬ මැද නිමාවට පත් වීම තුලින් ඔහු ජයග්‍රහණයේ මාවත ඔස්සේ යමින් සිටින බවට නිගමනය කල නොහැකි බවයි අමරිකාව තුළ ඔහුගේ ප්‍රකාශය ට ලැබෙන ප්‍රති විරෝධී ප්‍රති චරයන්ගෙන් පෙනී යන්නේ.

ඩොනල්ඩ් ගේ මේ ප්‍රකාශය ඇමරිකානුවන් පිලිබඳ ලෝකයා තුල මැවී තිබුණු ප්‍රති රුපය විනාශ කිරීමට හේතුවක් වූ බවයි එම ප්‍රතිචාර මගින් මතු කොට දක්වා ඇත්තේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර