තාලිබාන් ප්‍රහාරයකින් තිස් හත් දෙනෙක් මරුට

Image copyright Getty
Image caption දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පිහිටා ඇති හමුදා කඳවුර වෙත බර අවි රැගත් සන්නද්ධ කැරලිකරුවන් කඩා වැදී ඇත්තේ අඟහරුවාදා සවස් භාගයේදීයි

කන්දහාර් පළාතේ ගුවන් තොටුපලට එල්ල වූ තාලිබාන් ප්‍රහාරයකින් දරුවන් සහ කාන්තාවන් ඇතුළු සාමාන්‍ය වැසියන් තිස් හත් දෙනෙකු මරුමුවට පත් වී ඇති බව ඇෆ්ගනිස්තාන බලධාරීහු පවසති.

නේටෝ සහ ඇෆ්ගනිස්තාන ඒකාබද්ධ හමුදා මූලස්ථානය පිහිටි ගුවන් තොටුපල භූමිය තුළ සිට එක් කැරලිකරුවෙක් තවමත් ප්‍රහාර එල්ල කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

අනෙකුත් ප්‍රහාරකයන් නව දෙනා මරුමුවට පත් වී ඇති බව බලධාරීහු ප්‍රකාශ කළහ.

දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ පිහිටා ඇති හමුදා කඳවුර වෙත බර අවි රැගත් සන්නද්ධ කැරලිකරුවන් කඩා වැදී ඇත්තේ අඟහරුවාදා සවස් භාගයේදීයි.

තාලිබාන් සටන්කරුවන් විසින් සියතට ගනු ලැබූ ගුවන් තොටුපල භූමිය ආසන්නයේ පිහිටි පාසලක සිට කඳවුර වෙත ප්‍රහාර ප්‍රහාර එල්ල කරමින් මෙහෙයුම දියත් කොට තිබේ.

පාකිස්තානය, ඉන්දියාව සහ එක්සත් ජනපදයේ සහභාගිත්වයෙන් කලාපීය ගැටළු සාකච්ඡා කරනු වස් පැවැත්වෙන සමුළුවකට සහභාගී වීම සඳහා ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානි පාකිස්තානයේ සංචාරයක නිරත වී සිටින අතරතුර මෙම ප්‍රහාරය සිදු විය.

තාලිබාන් සංවිධානය සමඟ සාම මාවතකට පිවිසීම සම්බන්ධයෙන් සමුළුව අතරතුර සාකච්ඡා කිරීමට නියමිතව තිබිණ.

නේටෝ සහ ඇමරිකානු හමුදා ඛණ්ඩ බහුතරයක් පසුගිය වසරේදී ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමත් සමග එහි ප්‍රචණ්ඩකාරී වාතාවරණයක් වර්ධනය වෙමින් පවතියි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර