දිල්ලි දූෂණය;බාල වයස්කාර චුදිතයාට නීතියෙන් ගැලවීමක්

Image copyright Getty
Image caption ඉන්දියාවේ පවතින නීතියට අනුව බාල වයස්කාර අපරාධකරුවකුගේ අනන්‍යතාවය හෙළි කළ නොහැක

2012 වසරේ දිල්ලි අගනුවරදී පාසල් බස් රථයක් තුළ දී විසිතුන් හැවිරිදි ශිෂ්‍යාවක සමූහ දූෂණයට ලක් කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වූ හය දෙනා අතර එවකට බාල වයස්කාරයකුව සිටි චුදිතයකු වසර තුනකට පසු නිදහස කිරීමට පියවර ගනිමින් ඇති බව වාර්තා වෙයි.

අදාළ චුදිතයා සිසුවිය දූෂණය කළ බවට වරදකරු වන අවස්ථාවේ දාහත් වැනි වියේ පසු විය.

භෞතචික්තිසාව හදාරමින් සිටි ශිෂ්‍යාව දිල්ලි අගනුවර බස් රථයක ගමන් කරමින් සිටියදී පුද්ගලයන් හය දෙනකු විසින් කෘර ලෙස දූෂණයට ලක් කළේ 2012වසරේ දෙසැම්බර් 16 වෙනිදින රාත්‍රියේයි.

පසුව එම තරුණිය රෝහලේදී මරණයට පත් වූවාය.

එම අපරාධයට වරදකරු කෙරුණු එවකට බාල වයස්කාරයකු වූ පුද්ගලයා නිදහස් කිරීමට තීරණය කිරීමත් සමඟ ඊට එරෙහිව ඉන්දියාවේ විශාල මහජන විරෝධයක් ගොඩ නැගෙමින් පවතියි.

පුනරුත්ථාපනය කිරීම

Image copyright AFP
Image caption ජනමාධ්‍ය වල පල වූ තොරතුරු හේතුවෙන් ජනතාව තුල ඔහු පිළිබඳ ඇදී ඇති චිත්‍රය බියකරු එකක් බවයි ළමා අයිතීන් පිලිබඳ ක්‍රියාධරයන් කියා සිටියේ

එම ජනතා විරෝධය හමුවේ ඔහුට ආරක්ෂාව සැලසීමට සහ පුනරුත්ථාපනය කිරීම සඳහා පුණ්‍යායතනයක් වෙත බාර දීමටයි සැලසුම් කොට තිබෙන්නේ.

දූෂණය සිදු වන අවස්ථාවේ එවකට බාල වයස්කාරයකු වූ මෙම පුද්ගලයා ඉතාමත්ම කෘර ලෙස හැසිරී ඇති බවත් ඇතැම් වාර්තාවල සඳහන් විය.

ඔහු, වැඩිහිටියකු ලෙස සලකා අපරාධයට සරිලන දඬුවම් පැමිණවිය යුතු බව බොහෝ දෙනෙක් ඉල්ලා සිටියහ.

නමුත් ස්ත්‍රී දූෂණය සහ ඝාතන චෝදනාවලට වැරදි කරුවකු ලෙසට තීන්දු කිරීමෙන් පසු ඔහු වසර තුනකට සිර ගත කළේ ඉන්දීය නීතියට අනුව බාල වයස්කාර ළමයකුට දිය හැකි උපරිම දඬුවම නියම කරමිනි.

බීබීසී වාර්තාකාරියකට අදහස් දක්වමින් ඇතැමෙක් පැවසුවේ ඔහු අසල ඇති කණුවක එල්ලා මරා දැමිය යුතු බවයි.

ඔහුට දඬුවම් ලබා දීමට ජනතාව සංවිධාන විය යුතු බව තවත් අය පවසති.

Image copyright AFP
Image caption දිල්ලි අගනුවරදී සිසුවිය අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමත් සමග ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව පවතින නීති දැඩි කරන මෙන් ඉල්ලා ඉන්දියාව පුරා උද්ඝෝෂණ පැවැත්විණ

චුදිතයාට මරණ දඬුවම නොව වෙනත් දඬුවමක් දිය යුතු බව පවසමින් 'අනුකම්පා සහගතව' අදහස් දැක්වූ තවත් සමහරෙක් කියා සිටියේ ඔහු ජීවිතාන්තය දක්වා සිර ගත කොට තැබිය යුතු බවයි.

තම පුත්‍රයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මැසිවිලි පළ කරන චුදිතයාගේ දෙමව්පියන් ඔහු නිදහස් නොකරන ලෙස ඉල්ලා සිටිමින් ජාතික මානව හිමිකම් කොමිසමට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බවක් ද වාර්තා වෙයි.

සමාජ ආරක්ෂාව

භාරතීය ජනතා පක්ෂයේ දේශපාලකයෙක් දිල්ලි මහාධිකරණයට අභියාචනයක් යොමු කරමින් ඉල්ලා සිටියේ සම්පූර්ණයෙන්ම පුනරුත්ථාපනය කිරීමෙන් අනතුරුව සමාජයට තර්ජනයක් නොවන බවට තහවුරු වන තුරු ඔහු නිදහස් නොකළ යුතු බවයි

එහෙත් දිල්ලි නුවර බාල වයස්කාර රැඳවියන් තබා ඇති රිමාන්ඩ් භාරයේ නිලධාරියකු වන මජ්නු කා තිලා පවසන්නේ මේ වන විට විසි වැනි වියේ පසු වන එම තරුණයාට ජීවිතයේ තවත් අවස්ථාවක් ලබා දිය යුතු බවයි.

Image copyright
Image caption බාල වයස්කරු විසූ නිවස

'දැන් ඔහු හොඳයි. තමන් කරපු දේ ගැන ඔහු බලවත් කනස්සල්ල පළ කරනවා. වරදක් කළ බව ඔහු පිලිගන්නවා. මේ අපරාධය කරපු වෙලාවේ ඔහු ළමයෙක්. මම ඇහුව ඇයි ඔහු එහෙම කළේ කියල. වැඩිහිටියොත් එක්ක හිටිය නිසා ඔවුන්ට කළ හැකි දේ තමන්ටත් කරන්න පුළුවන් කියල පෙන්වන්න එහෙම කළා කියල ඔහු මට කිව්වා.’බන්ධනාගාර නිලධාරියා පැහැදිලි කරයි.

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ දුගී පවුලක සාමාජිකයකු වන චුදිතයා නිලධාරීන්ට පවසා ඇත්තේ තමන් සිය පවුලේ සාමාජිකයන්ගේ ආරක්ෂාව පිළිබඳව බියෙන් පසුවන බවයි.

ජනමාධ්‍ය වාර්තා හේතුවෙන් ජනතාව අතර ඔහු පිළිබඳව ගොඩනැගී පවතින චිත්‍රය බියකරු එකක් බවයි ළමා අයිතීන් පිලිබඳ ක්‍රියාධරයන් පෙන්වා දෙන්නේ.

එවැනි තත්වයක් යටතේ චුදිතයා නිදහස ලබා සිරගෙයින් පිටතට පැමිණියහොත් ඔහුගේ ජීවිතයට හානි සිදු විය හැකි බවටත් ක්‍රියාධරයෝ අනතුරු හඟවති.

සිය දියණිය සමූහ දුෂණයට ලක් කළ එවකට බාලවයස්කාරයකු වූ පුද්ගලයා නිදහස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන්ට ගොදුරු වූ ශිෂ්‍යාවගේ මව කියා සිටියේ ඉන්දියාවේ නීති පද්ධතිය පිළිබඳ තමා කලකිරී සිටින බවයි.

බියකරු චිත්‍රයක්

Image copyright AP

‘මට පුදුමයි මේ අපරාධකාරයා මරණ දඬුවමින් නිදහස් කර ගැනීමට මිනිසුන් හඬ නැගීම ගැන. නමුත් මගේ දරුවා බිම වැතිරිලා උදව් ඉල්ලමින් කෑ ගසන කොට කිසි කෙනෙක් ඉදිරියට ආවේ නැහැ ඇය බේරා ගන්න. මට දුකයි මම ජීවත් වන මේ සමාජය ගැන. මේ වගේ භයානක අපරාධයකට වයස බලපාන්නේ නැහැ. අපේ නීති පද්ධතිය පිළිබඳ මම කලකිරීමෙන් ඉන්නේ.’ එම මව පවසන්නීය.

දිල්ලි අගනුවරදී සිසුවිය අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කොට ඝාතනය කිරීමත් සමග ලිංගික ප්‍රචණ්ඩත්වයට එරෙහිව පවතින නීති දැඩි කරන මෙන් ඉල්ලා ඉන්දියාව පුරා උද්ඝෝෂණ රැල්ලක් දියත් කෙරුණි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර