‘වෙඩි හඬට පොඩි අකුරු ඇද වෙයි’

Image copyright b

2015 අවුරුද්දේ ලෝකයේ උපත ලද ළමුන්ගෙන් එක් කෝටි හැට ලක්ෂයක් මෙලොව එලිය දුටුවේ බිහිසුණු වෙඩි හඬ මැද යුද කලාප වලදී බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) පවසයි.

යුනිසෙෆ් සංවිධානය මගින් පසුගිය බදාදා (16) නිකුත් කෙරුණ අලුත්ම වාර්තාවකට අනුව 2015 අවුරුද්දේ උපන් ළමුන් අට දෙනකුගෙන් එක් බිලිඳකු යුද ගැටුම් සහිත කලාපයකදීයි මෙලොව එලිය දැක තිබෙන්නේ.

වෙඩි පුපුරන, බිම් බෝම්බ වලින් පිරුන යුද කලාපයන්හි ෂෙල් සහ මිසයිල් හඬ අතර ගෙවීගිය වසරේ ලොව එලිය දුටු බිළිඳුන්ගේ සංඛ්‍යාව එක් කෝටි හැට ලක්ෂයක් වෙතැයි ළමා අරමුදල ඇස්තමේන්තු කරයි.

යුද කලාපයන්හි උපත ලද ළමුන්ගේ සංඛ්‍යාව 2014 වසර සමඟ සසඳා බලන විට එක් ලක්ෂ විසි පන් දහසකින් වැඩි වී ඇති බව යුනිසෙෆ් ආයතනයේ තක්සේරුවයි.

ජීවිතයක ආරම්භය

Image copyright b

ඒ අනුව 2015 අවුරුද්දේ ලොව පුරා උපන් දරුවන් අට දෙනකුගෙන් එක දරුවකු උපත ලබා ඇත්තේ යුද කලාපයකයි.

මිනිස් ජීවිතයක මීට වඩා නරක තවත් ආරම්භයක් තිබිය හැකිදැයි යුනිසෙෆ් විධායක අධ්‍යක්ෂ ඇන්තනි ලේක් විමසයි.

ඉහත කී යුනිසෙෆ් වාර්තාව අනුව දකුණු සුඩානය, මධ්‍යම අප්‍රිකා ජනරජය සහ සිරියාව වැනි යුද ගැටුම් වල ගිලුණ රටවල නිමාවක් නොමැති යුද ගැටුම් මධ්‍යයේ එම රටවල ජන ජීවිත දැඩි අන්තරායකාරී තත්වයකට හෙළනු ලැබයි පවතින්නේ.

2014 අවුරුද්ද ගත් විට එම වසරේ යුද කලාපවල උපන් බිළිඳුන්ගේ සංඛ්‍යාව එක් කෝටි හතළිස් ලක්ෂයකි.

උපන් විගස මරණය

Image copyright

යුද කලාපවල උපදින දරුවන් අයහපත් ශරීර සෞඛ්‍යයෙන් යුක්ත අතර ඔවුන්ගේ මානසික හැඩ ගැසීමත් ඉතා සංවේදී වන අතර වෙනත් කලාපයන්හි උපදින දරුවන්ට සාපේක්ෂව බලන විට සංජානනය ස්වාභාවික නොවන එම දරුවන් වයස අවුරුදු පහ සම්පූර්ණ වීමටත් පෙරම මිය යාමේ අවාසනාවන්ත තත්වයක් පවතින බවයි යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙන්නේ.

යුද කලාපවල සිදු කෙරෙන ස්ත්‍රී දූෂණ නිසා සිදු වෙන ගැබ් ගැනීම් නිසා උපදින දරුවන්ගේ ඉරණම මෙම කතාවේ තවත් අඳුරු පරිච්ඡේදයක් වෙයි.

එක්සත් ජනපදයේ ඉයෝවා ප්‍රාන්තයේ Drake සරසවියේ දේශපාලන විද්‍යා අංශයේ මහාචාර්ය Debra DeLaet පවසන්නේ යුද කලාපවල දී ස්ත්‍රී දූෂණ වලට ගොදුරුවීමෙන් ගැබ් ගත් කාන්තාවන් දරු ප්‍රසූතියේදීම එම බිලිඳුන් මරා දමනු ලැබීමට උත්සාහ ගත් අවස්ථා ඇති බවයි.

‘එවැනි බිලිඳුන් අත්හැර දමනු ලැබීම, ඒ වගේම එවැනි දරුවන් දූෂණයට ගොදුරු වූ කාන්තාවගේ පවුලේ සාමාජිකයන් විසින් පිළි ගනු නොලැබීමේ ප්‍රශ්නයකුත් තියෙනවා’ මහාචාර්යවරිය පවසන්නීය.

තවත් දශ ලක්ෂයක්

මෙය විසඳුමක් නොමැති සමාජමය අර්බුදයක් වන අතර යුද ගැටුම් උග්‍රවෙන වේගයෙන් එම අර්බුදය බරපතල අතට හැරෙමින් පවතින බවයි යුනිසෙෆ් වාර්තාව පෙන්වා දෙන්නේ.

Image copyright EPA

යුනිසෙෆ් තක්සේරු කිරීම් අනුව 2016 ලබන අවුරුද්දේ යුද කලාපයන්හි උපදින දරුවන්ගේ සංඛ්‍යාව තවත් දශ ලක්ෂයකින් වැඩි වනු ඇත.

ඒ අනුව 2016 අවුරුද්දේ යුද ගැටුම් මැද මෙලොව දකින දරුවන්ගේ සංඛ්‍යාව එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වනු ඇත.

එවැනි පරිසරයක් යටතේ දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් ප්‍රමුඛතාව දීමට ජාත්‍යන්තර ප්‍රජාව ආකර්ෂණය කර ගැනීමයි යුනිසෙෆ් සංවිධානයේ අරමුණ වී තිබෙන්නේ.